Saturday, June 6

Death of George Floyd


ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් ගිනිබත් කරවූ, ට්‍රම්ප් සහ බිරිඳවත් බංකරයකට යැවූ,
ලොවක් කැළඹූ කළු ජාතිකයාගේ මරණය ගැන,
කවුරුත් නොදන්න ඇත්ත කතාව
"සිගරැට් මිලදී ගත් ෆ්ලොයිඩ් ගැන අවන්හල් සේවකයා පොලිසියට කළ පැමිණිල්ල.."
"විනාඩි 8කුත් තත්පර 46ක කාලයක් ඔහුගේ ගෙල සිරකරගෙන සිටියා.."

කළු ජාතිකයකු බිම පෙරළාගෙන ඔහුගේ ගෙල දණහිසෙන් තෙරපාගෙන සිටින ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියකු දැක්වෙන වීඩියෝව පසුගිය දිනවල ලෝකයේම විශාල අවධානයක් දිනාගත් වීඩියෝවක් බවට පත්ව තිබිණි.


ඩෙරික් චෝවින් නමැති පොලිස් නිලධාරියා 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයාගේ ගෙල මේ ආකාරයෙන් තෙරපාගෙන සිටින්නේ තමාට හුස්ම ගැනීමට අමාරු යැයි කියමින් ඔහු මහත් අසරණව බැගෑපත් වෙමින් සිටියදීය.

කෙසේ හෝ වේවා, ජෝර්ජ් ෆ්ලොයිඩ් අතිශය ඛේදජනක ආකාරයෙන් මරණයට පත් වූ අතර ඇමෙරිකාව ගිනියම් කරමින් ළැව් ගින්නක් සේ පැතිරෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට පණදීමට ඔහුගේ මරණයට හැකි විය.

ඇමෙරිකානු පොලිසිය මෙන්ම අධිකරණ පද්ධතිය තුළද කළු ජාතිකයන්ට ජාතිවාදී ආකාරයෙන් සලකන බවට වන චෝදනාව කාලයක් තිස්සේම එරට තුළ පැසවමින් පවතින්නකි.

මෙයට පෙර ද බොහෝ අවස්ථාවල පොලිසිය කළු ජාතිකයන් මරා දැමීම නිසා මහත් උණුසුම් විරෝධතා පැන නැඟුණු බව රහසක් නොවේ.

නමුත් මෑත කාලයේ ඒ කිසිදු සිදුවීමක් නිසා මේ තරම් දැවැන්ත ආකාරයේ විරෝධතාවක් පැන නැඟුණේ නැත. මහත් ආවේගශීලී ආකාරයෙන් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්තවලට පැතිර ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ප්‍රචණ්ඩ ආකාරයෙන් පැතිර ගිය විරෝධතාවල මුල් අවස්ථාවෙහි පොලිස් ස්ථාන සහ පොලිස් වාහන පවා ගිනි තබා ඇති අයුරු මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණි.

දස දහස් ගණන් ජනයා සටන් පාඨ පුවරු ඔසවා ගෙන වීදි ඔස්සේ ගමන් කළේ මේ වනවිට කොරෝනා වසංගතය නිසා ඇතිව තිබෙන අනතුර සහ පනවා ඇති ඇඳිරි නීතිය පවා මායිම් නොකරමිනි.

ඇමෙරිකාවේ කළු ජාතික ජනතාවට එරෙහි ජාතිවාදී ක්‍රියාකාරකම් නිසා ඔවුන් මත ඇතිව තිබෙන පීඩනයේ තරම එයින්ම සිතාගත හැකිය. තවත් විශේෂත්වයක් වූයේ සුදු ජාතික ජනයා පවා විශාල වශයෙන් මෙම විරෝධතාවලට සහභාගි වී සිටීමයි.

වොෂින්ටනයේ විරෝධතා පැන නැඟුණු එක් අවස්ථාවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ බිම් මහලේ බංකරයක් වෙත කෙටි වේලාවකට රැගෙන යෑමටද ආරක්‍ෂක නිලධාරීන් පියවර ගෙන තිබිණි.

ට්‍රම්ප් පමණක් නොව ඔහුගේ බිරිය මෙලනියා ද, බාල පුතු බැරන් ද මේ ආකාරයෙන් බංකරය වෙත ගෙන යන ලද බැව් සඳහන් වේ.

ඇමෙරිකාව කැලඹ වූ මෙම සිදුවීම් දාමය ආරම්භ වූයේ පසුගිය මැයි 25 වැනි දින ජෝර්ජ් ෆ්ලොයිඩ් සිගරැට් පැකැට්ටුවක් මිලදී ගැනීමේ සිද්ධියක් සමඟිනි.

එදින අඳුර වැටෙමින් තිබිය දී ඔහු මිනිඅපොලිස් නමැති නගරයේ අවන්හලක් වෙත පැමිණ සිගරැට් පැකැට්ටුවක් මිලදී ගෙන ඩොලර් 20ක මුදල් නෝට්ටුවක් එහි සේවකයාට දුන්නේය.

අවන්හලේ හිමිකරු ෆ්ලොයිඩ්ව හොඳින් දන්නා කෙනකු වුවත් එදින ඔහු අවන්හලේ සිටියේ නැත. ඒ වෙනුවට එහි කටයුතු භාරව සිට ඇත්තේ යොවුන් වයසේ සේවකයෙකි. ෆ්ලොයිඩ් විසින් දෙන ලද නෝට්ටුව ගැන මෙම සේවකයාට සැක සිතිණි. ඒ, එය හොර නෝට්ටුවක් බවටය.

සිගරැට් මිලදී ගත් ෆ්ලොයිඩ් පාර පැන අනෙක් පැත්තේ තිබූ මෝටර් රථයක් වෙත ගොස් එයට ගොඩ වී තවත් කෙනකු සමඟ කතා කරමින් සිටියේය. එම අවස්ථාවේ එහි පැමිණි අවන්හලේ සේවකයන් දෙදෙනකු ඔහුගෙන් ඉල්ලා සිටියේ සිගරැට් පැකැට්ටුව ආපසු ලබාදෙන ලෙසය.

නමුත් ෆ්ලොයිඩ් ඊට එකඟ වී නැත. අවන්හලේ යොවුන් සේවකයා 119 අමතා පොලිසියට දැනුම් දීමට පියවර ගත්තේ ඒ අනුවයි. ඔහු පොලිසියට පැවැසුවේ ෆ්ලොයිඩ් ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදීම සම්බන්ධයෙනි.

ටික වේලාවකට පසු පොලිස් නිලධාරීන් කිහිපදෙනකු එහි පැමිණි අතර ඔවුන් අවන්හල් සේවකයා සමඟ කතා කර ඊළඟට ෆ්ලොයිඩ් සිටි තැනට පැමිණ තිබිණි.

කෙසේ වෙතත්, ෆ්ලොයිඩ්ගේ ගෙල තද කරගෙන සිටි ඩෙරික් චෝවින් එම අවස්ථාවේ එහි සිටියේ නැත. ඔහු පැමිණ තිබුණේ පසුවයි. පොලිස් නිලධාරීන් ෆ්ලොයිඩ් මෝටර් රියෙන් බස්සවා ඔහුට මාංචු දමා තිබිණි. කලබල තත්ත්වයක් ඇති වී ඇත්තේ මාංචු දමන ලද ෆ්ලොයිඩ් නැවත පාර හරහා කැදවාගෙන විත් පොලිස් වාහනයට නංවා ගැනීමට උත්සාහ දරද්දීය.

ඔහු එහිදී පොලිස් රථයට නැඟීම ප්‍රතික්‍ෂේප කර ඇති බවක් පෙනේ. ෆ්ලොයිඩ් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමා ක්ලොස්ට්‍රොෆෝබියා නමැති භීතිකාවෙන් පෙළෙන බවය.

මෙම භීතිකාවෙන් පෙළෙන පුද්ගලයෝ සීමිත ඉඩක් ඇති ඇහිරුණු ස්ථානවල කොටු වී සිටින්නට දැඩි බියක් දක්වති.

මෝටර් රථ, විදුලි සෝපාන වැනි තැන්වල හිරවී ගමන් කිරීම පවා මෙවැනි පුද්ගලයන්ට මහත් බියක්, අපහසුතාවක් ඇති කරන්නකි. ෆ්ලොයිඩ් පොලිස් වාහනයට නැඟීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ඒ නිසා බව පෙනේ.

ඩෙරික් චෝවින් නමැති පොලිස් නිලධාරියා එම ස්ථානයට ළඟා වී ඇත්තේ මේ වෙලාවේය. කෙසේ හෝ වේවා, ෆ්ලොයිඩ් පොලිස් වාහනයට නංවා ගැනීමට ගත් උත්සාහයේදී ඔහු වරක් බිම ඇද වැටී තිබිණි.

චෝවින් සිය දණහිසෙන් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරගෙන සිටින්නට පටන්ගෙන ඇත්තේ එයින් පසුවයි. විනාඩි 8කුත් තත්පර 46ක කාලයක් ඔහු ඒ ආකාරයෙන් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරගෙන සිට ඇතැයි පැවසේ.

එම අවස්ථාවේ ෆ්ලොයිඩ් තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කිහිප වතාවක්ම බැගෑපත් වී ඇති අතර සිය මවට අඬගසා ඇති බැව් ද සඳහන්ය. නමුත් චෝවින් ඔහුගේ ග්‍රහණය ලිහිල් කිරීමට තරම් කාරුණික වී නැත.

විනාඩි 8න් විනාඩි 6කට පසු ෆ්ලොයිඩ්ගේ සිරුර අප්‍රාණිකව ඇති බව සඳහන් වේ. එම අවස්ථාවේ ඒ අසල බලා සිටි අය පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ ඔහුගේ නාඩි පරීක්‍ෂා කර බලන ලෙසයි.

එක් නිලධාරියකු ඒ අනුව ෆ්ලොයිඩ්ගේ දකුණතේ නාඩි පරීක්‍ෂා කර බලා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ නාඩි වැටෙන බවක් තමාට හසු නොවන බවය. එසේ තිබියදීත් චෝවින් තවත් විනාඩි 2කට කිට්ටු කාලයක් ෆ්ලොයිඩ්ගේ ගෙල සිය දණහිසෙන් තෙරපා ගෙන සිට ඇතැයි සඳහන් වේ.

එයින් පසු ෆ්ලොයිඩ්ගේ නිසල සිරුර ගිලන් රථයක දමාගෙන වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති නමුත් ඊට පැයකට පසු නිවේදනය කෙරුණේ ඔහු මියගොස් ඇති බවයි. ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ කෲර ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නට පටන් ගත් අතර එය දකින කවර කෙනකු තුළ වුවද මහත් කම්පනයක් සහ පිළිකුලක් ඇති වීම වැළකිය නොහැක.

ෆ්ලොයිඩ් ගැන දන්නා කිහිපදෙනකුම ඔහු ගැන මාධ්‍ය සමඟ අදහස් දක්වා තිබිණි. ඔවුන් පවසා ඇති ආකාරයට ෆ්ලොයිඩ් කාටවත් කරදරයක්, හිරිහැරයක් නැති පුද්ගලයෙකි. අවන්හලේ හිමිකරු පවසා තිබුණේ තමා එදින අවන්හලේ සිටියා නම් ෆ්ලොයිඩ් තවමත් ජීවතුන් අතර බවයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් රැකියාව කර ඇත්තේ ආරක්‍ෂක නිලධාරියකු හැටියට බව සඳහන් වේ. නමුත් කොරෝනා වසංගතයත් සමඟ බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම නිසා ඔහුට ද රැකියාව අහිමි වී ඇත.

මිය යෑමට පෙර දින රාත්‍රියේ ඔහු සමඟ සිටි මිතුරකු පවසා තිබුණේ තාවකාලික රැකියා ලබා දෙන ඒජන්සියක් වෙත ගොස් රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන ලෙස තමා ෆ්ලොයිඩ්ට පැවැසූ බවයි.

ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධ ඩෙරික් චෝවින් ඇතුළු නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් අතර චෝවින් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

ලබන සතියේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන් වේ. ඔහු බන්ධනාගාරය තුළදී සියදිවි නසා ගනු ඇතැයි යන සැකය නිසා ආරක්‍ෂක කැමරා පවා යොදා ගනිමින් පැය 24 පුරා ඔහු ගැන දැඩි සෝදිසියෙන් සිටීමට එහි නිලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර තවත් විශේෂ සිද්ධියක් ගැන මාධ්‍ය වාර්තා කර තිබිණි. එනම් චෝවින්ගේ බිරිඳ වන කෙලී චෝවින් ඔහුගෙන් දික්කසාද වීම සඳහා ඉල්ලුම් කර ඇති බවයි. ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ 2010 වසරේයි. තමාගේ අවසන් නම වන ‘චෝවින්’ යන්න වෙනස් කිරීම සඳහා ද ඇය ඉල්ලුම් කර ඇතැයි සඳහන් වේ.

කෙලී චෝවින්ගේ නීතිඥයන් පවසා ඇත්තේ මෙම සිද්ධියෙන් ඇය දැඩි කම්පනයට පත්ව සිටින බවයි. ෆ්ලොයිඩ්ගේ පවුලේ උදවිය, ඔහුගේ ආදරණීයයන් සහ මේ වෙලාවේ ඔහු වෙනුවෙන් ශෝක වන සියලුදෙනා සමඟ ශෝකය බෙදා ගැනීම සඳහා ඇය ද එක්වන බැව් ඔවුන් සඳහන් කර තිබේ.

(මෙම සටහන අවසන් කරමින් සිටියදී දැනගන්නට ලැබුණේ ඩෙරික් චෝවින් ෆ්ලොයිඩ්ගේ ගෙල තද කරගෙන හුන් අවස්ථාවේ එහි සිටි තවත් පොලිස් නිලධාරීන් තිදෙනකුට එරෙහිව ද චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ මිනීමැරීමට උදව් කිරීම සම්බන්ධයෙනි.)

සනත් වික්‍රමගේ
උපුටා ගැනීම - මව්බිම පුවත්පත