Friday, June 5

Thakshila sad story


වැසිකිළි වලට වැටී මියගිය තක්ෂිලාට ඇත්තටම සිදුවූ දේ මෙන්න

“මම වත්තේ තිබුණු ඉදල  ගන්න පාත්වෙනකොටම විශාල පිපිරුම් හඬක් එක්ක මගේ නෝනා විසිවෙලා ඇවිත් මගේ ඇඟට වැටුණා. නෝනව උස්සන්න නැමෙනකොට “සුදු මැණිකේ” ටොයිලට් වළේ කියලා දෙවැනි දුව කෑ ගැහුවා.”

දෙල්ගොඩ, උඩුපිල, ඉසිගිලිකන්ද ප්‍රදේශයේ නිවෙසක වැසිකිළි වළක දුඟද හැමීම වැළැක්වීමට පියා විසින් එම වැසිකිළි වළට කාබයිට් දැමීමෙන් පසුව ඇතිවූ පිපිරුමෙන් මියගිය වැලිවේරිය, ඇබරළුව මිහිදු කනිෂ්ඨ විද්‍යාලයේ අටවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි හොරණගේ තක්ෂිලා දිනූෂි (13) නමැති පාසල් සිසුවියගේ මරණ පරීක්ෂණයේදී එම දැරියගේ පියා වන හොරණගේ සුනිල් රත්න (54) මහතා එසේ පැවැසීය.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ජී.ජී.ආර්.පී. රාජපක්ෂ මහතා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඉකුත් 31දා සිදු කළේය. එම මරණ පරීක්ෂණයේදී මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ඊ.ජේ.එම්.එන්.ඒ. ජයසිංහ (75709) මහතා සාක්ෂි මෙහෙයවීය.

එහිදී සාක්ෂි දුන් දැරියගේ පියා මෙසේද පැවැසීය.

“මම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. මට දරුවන් හතරදෙනයි. ලොකු දුවලා දෙන්නා කසාද බැඳලා. තුන්වැනි දුවට තමා මේ කරදරය වුණේ. මගේ ගේ පිටුපස ගෙටම අල්ලලා තමයි වැසිකිළිය හා එහි වළ තිබෙන්නේ. වැසිකිළි වළේ බැම්මේ ගල් අස්සෙන් මීයෝ හාරලා නිසා දින කීපයක ඉඳලා වළෙන් දුඟද හැමුවා. මම අහලා තිබුණා කාබයිට් දැම්මහම ගඳ නැතිව යනවා කියලා. ලොකු දුවට කියලා සිද්ධිය වූ දවසේ උදේ 10ට විතර කඩෙන් කාබයිට් කිලෝවක් ගෙන්න ගත්තා. හවස 3.30ට විතර වැසිකිළි වළේ ගැට්ටේ ගලක් අයින් කරලා වළට කාබයිට් දැම්මා. ඊට පස්සේ ගල තියලා වැහුවා.

වළට අඩි එකහමාරක් දෙකක් දුරින් අවට තිබූ කුණු එකතු කරලා තිබුණා. මම ලොකු දුවගේ ඉඩම දෙසට ගියා. මේ අතර දුවගේ සීයා කුණු ගොඩට ගිනි තියලා තිබුණා. කාබයිට් වැසිකිළි වළට දමා විනාඩි 20-25ක් ගිහින් තිබුණා. වත්තේ තිබුණා ඉදල ගන්න මම පාත් වෙනකොටම විශාල පිපිරුම් ශබ්දයක් ඇහුණා.

මගේ නෝනා විසිවෙලා ඇවිත් මගේ ඇඟ උඩට වැටුණා. එයාගේ කකුල් තුවාල වෙලා, ඇඹරිලා තිබුණා. මම නෝනාව ගන්න පාත්වෙන කොටම “සුදු මැණිකේ වළේ” කියලා. දෙවැනි දුව කෑගැහුවා. මම ඒ පැත්ත බලද්දී සුන්බුන් අස්සෙන් දුවගේ කකුල විතරයි පෙනුණේ. පිපිරුම් සද්දෙට දුවගෙන ආපු බෑණලා දෙන්නත් එක්ක කැඩිච්ච කොන්ක්‍රීට් ලෑල්ල උස්සන්න හැදුවත් බැරුව ගියා. පිපිරුමේ සද්දෙට ගමේම සෙනඟ එකතු වුණා. එයාලා කොන්ක්‍රීට් ලෑල්ල කඩලා වළේ හිරවී සිටි දුව ගොඩට ගත්තා. ත්‍රීවීල් එකකින් ස්පිරිතාලෙට ගෙනිච්චා.

මෙහිදී සාක්ෂි ලබාදුන් මියගිය සිසුවියගේ මස්සිනා වන පී. ජී. ආර්. දිලංක ඩයස් (24) මහතා

මගේ නිවස තිබෙන්නේ සිද්ධිය වූ ස්ථානයේ සිට අඩි 20 - 30 ක දුරින්. කඩේට ගියහම මගේ නෝනා මතක් කළා කාබයිට් කිලෝ එකක් ගන්න වුවමනා බව. අපි කාබයිට් කිලෝ එකක් මහ ගෙදරට ගෙනත් දුන්නා.

හවස 3.30ට විතර මම දැක්කා මගේ නෝනගේ තාත්තා වැසිකිළි වළට කාබයිට් දානවා.

ඒ වෙලාවේ සුදු මැණිකේ හිටියේ අපේ මිදුලේ. මම එයාට ගෙට එන්න කියලා කතා කළා. ගේ ඇතුළට ඇවිත් ටික වේලාවකින් සුදු මැණිකේ අපේ ගෙදරින් ගියා. එයා ගිහින් විනාඩි 10 - 15 කින් විශාල පිපිරුම් ශබ්දයක් ඇහුණා.

මම ඒ පැත්තට දුවනකොට නැන්දම්මා බිම වැටිලා හිටියා. සුදු මැණිකේ ටොයිලට් වළේ කියලා කෑගහනවා ඇහුණා. මම වළ ගාවට දුවගෙන ගියා. එයාගේ කකුල විතරයි උඩට පෙනුණේ. කට්ටිය එකතුවෙලා සුදු මැණිකේව උඩට ගත්තා.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. ටී. ඩී. සී. ප්‍රනාන්දු මහතා විසින් එම රෝහලේදී පවත්වන ලදී. එහිදී මෙම මරණය නාසය සහ මුඛයෙන් අසූචි මිශ්‍ර ජලය පෙවීමෙන් ශ්වසන මාර්ගය අවහිර වීමෙන් සිදු වූවක් බවට නිගමනය කෙරිණි.

දෙල්ගොඩ - බිහඳු විනුවර
Source - මව්බිම