Wednesday, June 10

Medagama Anjalee Dead



ලණුවකින් බෙල්ල හිර කරලා මරලා, පෙට්රල් දාලා ගිනි තිබ්බා.
මැදගම ගමක් කම්පා කරමින්, සිය පෙම්වතිය වූ 28 හැවිරිදි අංජලීව අන්තිම ගමනට යැවූ හැටි පෙම්වතා පොලිසියේදී වමාරයි
හයේ පන්තියේ සිට දන්නා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා
සැකකාර පෙම්වතා මහනුවර පදිංචි 27 හැවිරිදි අයෙක්ලූ....

මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් දිවියාපොළ ප්‍රදේශයේ නිවෙසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් මැදගම පොලිසිය සොයාගෙන තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඇයගේ පෙම්වතා මැදගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය ඔහු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ අංජලී සෞම්‍ය හේමාලි බාලචන්ද්‍රන් (28) නමැති තරුණියක්.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඝාතනයට ලක්වූ තරුණියගේ පෙම්වතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් පොලිසියට පවසා තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් අත් ආවරණ සහ ගිනි පෙට්ටියක් මහියංගණය නුවර මාර්ගයේ දහ අට වංගුව අසලින් කැලෑවකට විසි කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම ඝාතනය කළ සැකකරු නැවත සිය නුවර ප්‍රදේශය බලා ගමන් කරන අතරතුර ඝාතනය සඳහා යොදාගත් මෙම ද්‍රව්‍ය කැලෑවට විසි කළ බවට පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එම තොරතුරු අනුව මහනුවර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී තරුණියගේ රත්රන් ආභරණ කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පෙම්වතා මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ විසිහත් හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සහ ඝාතනයට ලක්වූ ඔහුගේ පෙම්වතිය පාසල් වයසේදී හය ශේ‍ර්ණියේ සිට එකම පන්තියේ අධ්‍යාපනය ලබා ඇති බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

එම හිතවත්කම මත මොවුන් පසුව පෙම්වතුන්වී තිබුණා. කලක් ගතවෙද්දී මොවුන් අතර වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ලණුවකින් ගෙල සිර කර ඝාතනය කර පසුව සිරුරට පෙට්රල් දමා ගිනි තැබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මැදගම පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු 8දා දින බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස දහ නව වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත මැදගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ, අපරාධය අංශයේ ස්ථානාධිපති පො.ප. චානක විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැදගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඉඳුනිල් අළුත්ගෙදර
මව්බිම