Saturday, June 6

Chamara Priyadarshana Accident



"අපි එයාව කොහොම හරි සනීප කරනවා. අතහරින්නේ නෑ..."
"මාර්තු 27 වැනිදා වෙනකල් මල්ලිට සිහිය තිබ්බේ නැහැ..."
"ඔළුව ලයිට් කණුවේ වැදිලා. අපි ඒ අනතුරේ විඩියෝ දර්ශන බැලුවා..."
චාමර ප්‍රියදර්ශන බොහෝ දෙනෙක් ආදරය කළ රංගන ශිල්පියෙක්.
ඔහු මීට මාස තුනකට උඩදී දරුණු රිය අනතුරකට ලක්වුණා. මේ නිසාම චාමරට ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබන්නත් සිද්ධ වුණා.


ජීවිතයේ නොහිතපු මොහොතක සිදුවුණු අනතුර නිසා චාමරව පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණේ නැහැ.
ඡීවිතයේ සුන්දර බලාපොරොත්තු රැගෙන ඔහු මේ වෙනකොට සුවය ලබමින් සිටින්නේ. එවන් මොහොතක අපි ඔහුගේ සුවදුක් දැනගන්න කතා කළා.
"මගේ තත්ත්වය දැන් ගොඩක් සුව අතට හැරිලා තියෙන්නේ. මම දැන් ඉන්නේ මගේ අයියගේ ගෙදර. මගේ ගම නුවර වුණත් දැන් මම නැවතිලා ඉන්නේ අයියගේ ගෙදර. මගේ අම්මා, තාත්තත් අයියලගේ ගෙදර ඇවිත් මාත් එක්කම තමයි ඉන්නේ. මට ප්‍රතිකාර සඳහා සැරින් සැරේ රෝහලට යනවා..."
චාමර දැන් ඔහුගේ තත්ත්වය ගැන අපට කිව්වේ ඒ විදිහට. මීට මාස කිහිපයකට උඩදී ඔහුට සිදුවුණු අනතුර ගැනත් ඔහු මතකය අවදි කළා.
"මම එදා යාළුවෙක් එක්ක බයික් එකේ තලවතුගොඩට ගියා. එතැනදී තමයි අනතුර සිද්ධ වුණේ. මට හිතාගන්නවත් බැරිවුණා. එදා සිදුවුණු අනතුරෙන් මම දෙවියන්ගේ පිහිටෙන් බේරිලා ඉන්නවා. බුදුන්ගේ සරණ මට තියෙනවා. මම පන්සල් යනවා. ආගම දහමට අනුව වැඩ කරනවා. මම මේ අනතුරෙන් බේරිච්ච එක ලොකු දෙයක්. මාව මේ තත්ත්වයට සුව කළාට සියලුම වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලයටම ස්තූති කරන්න ඕනේ. ඔවුන් නැත්නම් අද මට මේ තත්ත්වයට එන්න බෑ. ඔවුන් දෙවිවරු වගේ..."
චාමර කියන්නේ යාළු මිත්‍රයෝ ගොඩක් ආශ්‍රය කළ නව පරපුරේ රංගන ශිල්පියෙක්. එදා හිටපු යාළුවෝ අදත් ඔහු ළඟ ඉන්නවා. ඔහු ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක්.
"මට යාළුවෝ පුදුම විදිහට වටිනවා. යාළුවොත් මට ඒ විදිහටම ආදරෙයි. බොහෝ දෙනෙක් මාව බලන්න ආවා. දුරකථනයෙන් කතා කරලා හරි මං ගැන හොයලා බලනවා. එයාලා මාව අමතක කරලා නැහැ. සුදර්ශන බණ්ඩාර අයියත් මේ ළඟදි ඇවිත් මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා..."
චාමර ආයෙත් රංගනයට එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
"මගේ ඊළඟ බලාපොරොත්තුව සුව අතට හැරුණම ආයෙත් රංගනයට එකතු වෙන්න. මට බොහෝ දෙනෙක් ආදරය කරනවා. මම මේ ළඟදි පන්සල් ගියාම බොහෝ දෙනෙක් මං දිහා බලාගෙන හිටියා. ඒත් වන්දනාමාන කරන්න ගිය නිසා ඒ හැමෝම එක්ක මට කතා කරන්නනම් බැරිවුණා. මම කැමැතියි ආයෙත් මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔවුන් අතරට එන්න..."
චාමරව දැන් බලාගන්නේ ඔහුගේ සහෝදරයා සෙනරත් තුසිත රුවන්. ඔහු චාමරට වෙච්ච අනතුර ගැනත් චාමරගේ දැන් තත්ත්වය ගැනත් අපිට කිව්වේ මේ විදිහට.
"මල්ලි පෙබරවාරි 15 වැනිදා එයාගේ බෝඩිමේ යාළුවෙක් වුණ දිනේෂ් එක්ක බයික් එකේ ගිහින් තියෙනවා රෑ කෑම ගේන්න. ඒ යද්දි බයිසිකලය කන්ට්‍රොල් නැතිව ගිහින් ලයිට් කණුවක වැදිලා. දිනේෂ් මල්ලි තමයි බයිසිකලය පැදගෙන ගිහින් තිබුණේ. මල්ලි බයිසිකලයේ පිටිපස්සේ ඉඳගෙන ගිහින් තියෙන්නේ. බයික් එක ඇලවුණ පාර මල්ලිගේ ඔළුව ලයිට් කණුවේ වැදිලා. අපි ඒ අනතුරේ විඩියෝ දර්ශන බැලුවා. මල්ලිට සිදුවුණ අනතුර ගැන කිසි මතකයක් නැහැ. අපි කියන දේවල් අහගෙන ඉඳලා තමයි එයා දේවල් කියන්නේ. පෙබරවාරි මාසේ 15 වැනිදා ඉඳන් මාර්තු 27 වැනිදා වෙනකල් මල්ලිට සිහිය තිබ්බේ නැහැ. එයා හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටියේ. වාට්ටුවට දැම්මමත් එයාට සිහියක් තිබ්බේ නැහැ. මාර්තු 27 වැනිදා ටිකට් කපලා එයාට ගෙදර එන්න ලැබුණා. ඒ එනකොටත් හරියට සිහියක් නැහැ. මැයි මාසේ 11 ආයෙත් එයාගේ අතේ ප්‍රශ්නයකට ප්‍රතිකාර ගන්න රෝහලේ නතර කරලා ප්‍රතිකාර අරගෙන ගෙදර ඇවිත් ඉන්නේ. ආයෙත් මල්ලිගේ ඔළුවේ ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ප්‍රතිකාර අවසන් වෙන්නේ..."
"අතේ ප්‍රශ්නයට නම් ව්‍යායාම කරවනවා. දැන් මල්ලිට 90%කට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා. එයා ඇවිදිනවා. තනියම එයාගේ වැඩ කරගන්නවා. හවසට ඇවිදින්න යනවා. පන්සල් යනවා. අපි ඉතිං එයාගේ පස්සෙන්ම ඉන්නවා. මල්ලිට අතීතයේ ගොඩක් දේවල් මතකයි. හැබැයි අනතුර සිදුවෙන්න මාස හයකට, අවුරුද්දකට කලින් වගේ දේවල් එයාට මතක නැහැ. අපි ඉතිං ඒ තැන්වලට එයාව එක්ක ගිහින් සිදුවුණ දේවල් මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. දවස් 23ක් සිහිය නැතිව ඉඳලා ගෙදර ඇවිත් මාස දෙක තුනක් යද්දී එයාව හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් වුණා. අපි එයාව අතහරින්නේ නැහැ. යාළුවොත් එයාව අතහැරලා නැහැ. මල්ලි රංගනයට හරිම ආදරෙයි. දැන් වුණත් නිතරම කියන්නේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනින් සනීප වෙලා ෂූටින් යන්න ඕනේ කියලා. අපි එයාව කොහොම හරි සනීප කරනවා. අතහරින්නේ නෑ..."
චාමරගේ සහෝදරයා කිව්වේ ඒ වගේ ධෛර්ය සම්පන්න කතාවක්. චාමරගේ අම්මා, තාත්තා, සහ සහෝදරයා, සහෝදරිය මේ හැමෝම චාමරව ගොඩ ගන්න මහන්සි වුණා. එහි ප්‍රතිඵල දැන් තියෙනවා. චාමරට පූර්ණ වශයෙන්ම සුවය ලැබිලා ඉක්මනින්ම සොඳුරු රංගනයෙන් ප්‍රේක්ෂකයන් පිනවන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත