Friday, June 5

Badalkubura Case



ඒ දෙන්නා අදුරගෙන තියෙන්නේ මාස දෙකකට කලින්..
18 හැවිරිදි පුතා, පළමු හමුවිමෙන්ම බාලවයස්කාර
ෆේස්බුක් පෙම්වතිය ගෙදරට කැන්දන් එයි

මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් පහළොස් හැවිරිදි දැරියක් මුල් හමුවීමෙන්ම ඇගේ මවුපියන්ට නොදන්වා නිවෙසට කැඳවාගෙන පැමිණි දහඅට හැවිරිදි තරුණයකු එම තරුණයාගේ මව විසින් පොලිසියට කොටුකර දීමේ සිද්ධියක් බඩල්කුඹුර පොලිසියෙන් වාර්තා වෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මෙම පහළොස් හැවිරිදි දැරිය කැඳවාගෙන පැමිණ ඇත්තේ මාතලේ, මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයෙන් බව පොලිසිය කියයි.

තම පෙම්වතිය මීට මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් බවත් එම හඳුනාගැනීමෙන් පසු පෙම්වතුන් වූ බවත් ඇගේ ඉල්ලීම මත ඇය හමුවීමට ගිය අවස්ථාවේදීම ඇය නැවත නිවෙසට යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා පෙම්වතිය රැගෙන නිවෙසට පැමිණි බවත් සැකකාර තරුණයා පොලිසියට පවසා තිබෙනවා.

සැකකරුගේ මව පොලිසියට පවසා ඇත්තේ තම දරුවා තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතින බව දැනගෙන සිටි බවයි. සිද්ධිය වූ දින තම දරුවා පෙම්වතිය මුණගැසීමට මාතලේ ප්‍රදේශයට යන බව පවසා නිවෙසින් පිටව ගිය බවත් පසුව එම තරුණිය රැගෙන නිවෙසට පැමිණි බවත් ඇය බාලවයස්කාර දැරියක් නිසා තම දරුවා හා එම දැරිය පොලිසියට කැඳවාගෙන විත් ඉදිරිපත් කළ බවත් ඇය තවදුරටත් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබෙනවා.

පහළොස් හැවිරිදි දැරිය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ තම පෙම්වතාගෙන් හෝ ඊට පෙර වෙනත් අයකුගෙන් හෝ ලිංගික අතවරයක් සිදු නොවූ බවයි.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබෙනවා. සැකකාර තරුණයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.

මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත බඩල්කුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්. සුනිල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරන බවත් සදහන්.