දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි, කන ඇහෙනවයි ටිකක් අඩුයි..
ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා සාද තිබුනේ නෑනේ..
මම දැන් අවුරුදු 45ක 50 විතර ඉඳලා මස්මාළු කාලා නැහැ..
ඉලක්කමකින් වයසට යනවා කියන්නේ දුක සතුට මැද දෝලනය වන පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීමට හරි අපූරු වචනයක් දෙනවා. ඒ තමයි උපන් දිනය. තවත් වසරකින් අපව වියපත් කරන උපන්දිනය සමරන්නට වර්තමාන මානව සමාජයේ බොහෝ දෙනා පෙළඹෙන කාරණයක්. ඒ සතුට මැද්දේ උපන්දිනය උදාවෙන ඔබ ආදරය කරන කිහිප දෙනෙකුගේම උපන්දින සැමරුම් අතරින් එළඹෙන සතියේ උපන් දිනය සමරන සුදු ආච්චි (අයිරාංගනී සේරසිංහ) නම් ප්‍රවීණ රංගනවේදිනිය සිය 94 වැනි ජන්ම දිනය සමරනවා. අයිරාංගනී සේරසිංහ නම් එම ප්‍රතාපවත් රංගනවේදිනිය දශක ගණනාවක් පුරා ලාංකීය කලාව තුල සිය රංග ප්‍රතිභාව මුදාහරිමින් සහෘද සිත් සතන් මුසපත් කරන්නට සමත් වුණා. බොහෝ කලක් ස්වකීය රංගනයෙන් රිදී තිරය විචිත්‍රවත් කළ ඇය අද ජීවිතයේ සැඳෑ සමය විඳිමින් සිය 94 වැනි ජන්ම දිනය සමරණ මොහොතේ පුවත්පතක් සමග කළ සංවාදයක් පහතින්.
ඉතින් කොහොමද සැප සනීප?
ගෙදරට වෙලා ඉතින් පොතක් පතක් කියවගෙන ඉන්නවා. දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි, කන ඇහෙනවයි ටිකක් අඩුයි.
මතකද උපන් දිනය?
අනේ මට මතක නෑනේ... ආ මතකයි.... මතකයි 1927 ජුනි 9
ඒ උපන් දිනය ගැන අම්මා තාත්තා මොනවද කියලා තියෙන්නේ?
මම ඉපදිලා තියෙන්නේ වලව්වෙමයි. ඒ කියන්නේ රුවන්වැල්ලේ මුදුගමුව කියන ගමේ. මාව ලැබෙන්න ඉද්දි අම්මාට ගොඩක් අමාරු වෙලා තියෙනවා. මාසේ පෝය කිට්ටු වෙලා තමයි මාව ලැබිලා තියෙන්නේ. මම ගෙදර මද්දුමයා. මට වැඩිමල් අක්කා කෙනෙක් නිසා. අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම පිරිමි දරුවෙක් වේවි කියලා. මාව ලැබෙන්න ඉද්දි අපේ අම්මට දොලදුක දැනිලත් නැහැ. කෙල්ලෙක් වුණාට ඉස්සර කොල්ලා වගේ මං හරි දඟනෙ. ආත්තම්මා මට ගෙදරට කිව්වේ චණ්ඩි කියලා.
උපන් දිනය ගැන ඔබට මොනවද හිතෙන්නෙ කියනවා?
එහෙම විශේෂ දෙයක් සිතලා නැහැ. මම ඔය උපන්දින උත්සව පවත්වනවට කැමති නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ ව්‍යසනයෙන් මුළු ලෝකයම ඉක්මනින් මුදවලා දෙන්න කියලා තමයි. ගිය අවුරුද්දේ විසිරිලා ඉන්න මගේ නෑදෑ හිතවතුන් පරපුරම ආවා මාව බලන්න. ඒ අයව දැක්කම මට හරිම සතුටුයි. කලා ක්ෂේත්‍රයේ අයත් උපන්දිනේට මාව බලන්න එනවා.
ඉපදෙනවා මැරෙනවා ඒක ලෝක ස්වභාවය ඒ නිසා උපන්දිනය මට එච්චර විශේෂ දෙයක් නෙමෙයි. වැදගත් දෙයක් නෙමෙයි.
ඒ කාලේ උපන්දින සැමරුම්වල මතකය කොයි වගේද?
පුංචි කාලේ අපි කවදාවත් උපන්දින සාද පවත්වලා නැහැ. අපි ඒවා දන්නෙත් නැහැ. ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා සාද තිබුනේ නෑනේ. අම්මා උදේට කිරිබත් ටිකක් හදලා දෙනවා. උපන් දිනේට ඉතින් අලුත් ගවුමක් එහෙම මහලා දෙනවා.
කලාවට ආවට පස්සේවත් උපන්දින සැමරුවෙ නැද්ද?
අනේ නැහැ. මම ඒවා දකින්නේ බොරු දේවල් විදිහට. මට මගේ ජීවිතේ උපන්දිනේ කියන දේ එච්චර වැදගත් නැහැ. අම්මෝ ඒ වුනාට ඒ කාලේ උපන්දින සුබපැතුම්, මල්පොකුරු, ලියුම් හරියට ගෙදරට එනවා. රසික රසිකාවියන්ගෙන්, යහළු හිතවතුන්ගෙන්. ඒ වුනාට මම කවදාවත් උපන්දිනේට සාද පවත්වලා නැහැ.
සාමාන්‍යයෙන් උපන්දිනය දවසට මොනවද කරන්නේ?
ගෙදර බුදුන්ට බුද්ධ පූජාව තියලා බුදුන් වඳිනවා. එදාට කාට හරි පිහිටක් වෙනවා. වසරකින් වයසට යන එකට අපේ ශරීරය වැහැරෙන එකට මහා ලොකු උත්සව ගන්න අය ගැන මට වෙලාවකට පුදුමත් හිතෙනවා. අනෙක් සියලුම ජීවින්ට අපි කරුණාවෙන් අනුකම්පාවෙන් ඉන්න ඕන... මේ ලෝකේ අපට බෙදා ගන්න බැරි දෙයක් නැහැ. අපි අනිත් අයට සලකන්න ඕන. ඒ අයත් අපට සලකාවි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි.
උපන්දිනේ දවසට දීර්ඝායුෂ නම් මට ප්‍රාර්ථනා කරන්න එපා. මට ජීවත් වෙලා ඉන්න එක දැන් කරදරයක්. කරදරයක් කිව්වේ මගේ ශරීරයට කරදරයක්. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ යන්න. තමන්ට තමන්ගේ වැඩ කරගන්න බැරි දවසට අපි යන්න ඕන. තවත් කෙනෙකුට කරදරයක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ. පසුගිය කාලෙත් ගෙදර වැටිලා මාස කිහිපයක්ම ඇඳට වෙලා ඉන්න වුණා.
මම දැන් අවුරුදු 45ක 50 විතර ඉඳලා මස්මාළු කාලා නැහැ. මගේ කටේ එක දතක්වත් හැලිලා නැහැ. පිටින් දාපු එක දතක්වත් නැහැ. මම මේ තරම් කාලයක් ශක්තිමත්ව හිටියේ නිර්මාංශ වුණු නිසා.
නදීශා අතුකෝරළ - ලංකාදීප
ඡායාරූප: චමත් වින්දුල