Tuesday, June 9

Wallawaya Case New Update

Murder, wallawaya, Gossip lanka sinhala news, Sinhala Gossip News,

"රෙදි කෑල්ලකින් සඳුනිගේ කකුල් දෙක ගැටගහලා ඔලුවට පොල්ලකින් ගැහුවා.."
"ආපු උත්තර බැලුවම මේ මැසේජ් එවන්නේ සඳු නෙවෙයි කියලා මට තේරුණා..."
අක්කවයි පෙම්වතාවයි කොටු කරගන්න පොලිසිය ගහපු ගේම මෙන්න...
මවට ලියූ ලිපියකින් තවත් බිළිඳු ඝාතනයක තොරතුරු එළියට...
එකම අම්මගේ කුසින් මෙලොවට බිහිවී 'එකපත' බෙදා හදා ගෙන එකට ගුලිවී එක පැදුරේ නිදාගෙන එකට ලොකු මහත් වන එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර විවිධ හේතුන් මුලික කරගෙන ඇතිවන ගැයුම්වලින් මේ ජන සමාජයේ අඩුවක් නැහැ.
අධික තණ්හාව කෝපය, වෛරය නිසා සහෝදරකම් අමතක කරනවා පමණක් නෙව එකම අම්මාගේ බඩවැල කඩාගෙන ආ සහෝදරයා සිය සහෝදරියන් ඝාතනය කිරීමට පවා ඇතැමුන් පෙළඹෙන්නේ නිරායාසයෙන්.



මීට උදාහරණ ද මේ ජන සමාජයේ ඕනෑ තරම් තිබෙනවා.
අහස පොළව නුහුලන මෙවැනි සාහසික අපරාධයකින් මුළු රටම පසුගිය දින කම්පනයට පත් වූ මේ අතිඅනුවේදනීය පුවත ඇසු දුටු බොහෝ දෙනා 'අනේ අපොයි' කියද්දියි.
ඌව පළාතේ මොණරාගල දිසාවේ වැල්ලවාය කුඩා ඔය නයිගල් ආරනෙඑල්ල ප්‍රදේශවාසීන් විමතියටත් කම්පාවටත් පත් වූයේ වසංගත රෝගයකින් මුළු රටම අඩපණ වී තිබූ මොහොතක මෙවැනි සිද්ධියක් තම ගම් පළාතෙන් වාර්තා වීම අදහාගත නොහැකියි..
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේයි..
'සඳුනි දීපමාලි" විසිතුන් හැවිරිදි රූමතියක්. එක්වරක් ඈ දෙස බැලූ අයෙක් නැවත හැරී බලන තරම් රූ සපුවක් ඈ සතු වුවා. හත්දෙනෙකුගේන් සමන්විත සහෝදර සහෝදරියන් පිරිසක් අතරින් ඈ පවුලේ බාලයා වූ නිසා හැම දෙනාගේම සෙනෙහස ආදරය ඇයට හිමිවුණා.
ඇයට ඇති ආදරය කරුණාව නිසාම බොහෝ දෙනා ඇය ඇමතුවේ "සඳු" යන නාමයෙන්. කාලය ගෙවී යත්ම පාසල් ගමන අවසන් කළ ඇය රැකියාවක නිතරවන්නට හිතුවේ වයෝවෘද්ධ මව්පියන් වෙනුවෙන් තම යුතුකම් කොටස නොපමාව ඉටුකළ යුතුයි යන හැඟීම නිසායි.
ඒ නිසාම ඇය තමන් පදිංචිව සිටි ප්‍රදේශයෙන්ම පුංචි රැකියාවක් සොයාගත්තා. එහි නිරත වන අතරතුර පාස්කු ප්‍රහාරයෙන් රටේ ඇති වූ තත්ත්වයෙන් පසු එම ස්ථානයේ රැකියාව ඇයට අහිමි වුණා.
ඉන් අනතුරුව 'හඳපානාගල වත්ත" ප්‍රදේශයේ වෙළඳසැලක ඇය සේවය කළා. එයින් ලැබුණු රුපියල් පහළොස් දහසේ මුදලින් ඇය සිය පවුලට යුතුකම් ඉටු කළා.
තම වැඩිමල් සොයුරියන්ගේ දරුවන්ට කිරිපිටි, ඇඳුම් පැළඳුම්, දෙමව්පියන්ට අවශ්‍ය බෙහෙත් හේත් නිවසට අවශ්‍ය කරන ආහාර පාන සියල්ල ඇය රැගෙන ආවා.
එපමණක්ද නොව හැකි සෑම අවස්ථාවකදීම සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඇඳුමක් පැළඳුමක් ද මිලදී ගෙන ඒමට අමතක නොකළ ඇය දරුවන් වෙනුවෙන් හැකි අයුරින් රන් බඩු සාදා දීමට පසු බට වූයේ නැහැ.
ඒ අතර ඇය දුටු එකම සිහිනය වූයේ එක් කාමරයකින් පමණක් සමන්විත පැල්පත වෙනුවට පුංචි නිවසක් සාදා ගැනීමයි. මව්පියන්ට නිදහසේ ඉන්නට නිවසක් ඉදිකරදීම ඇගේ එකම බලාපොරොත්තුව වුණා.
"සඳු"ගේ ඒ ආශාව ගැන මව කීවේ මෙවන් කතාවක්..
"මගේ මැණිකෙගේ තිබුණු එකම හීනේ තමයි ගෙයක් හදලා පුංචි උත්සවයක් අරගෙන මඟුල් පොටෝ එක්ක තියන්න.. ඒකට බැංකුවෙන් රුපියල් පනස්දාහක ණයක් ගත්තා. අත්තිවාරමත් දැම්මේ ඒ සල්ලිවලින්.."
"ඒක ඉක්මනට ගෙවලා තවත් ලක්ෂ දෙකක් අරගෙන ගේ වැඩ ඉවර කර ගන්නවා කියලා හිටියේ. එහෙම ඉන්නකොට තමයි සඳු අතුරුදහන් වුණේ. ඒ හරියටම ගිය මාසේ පස්වෙනිදා.."
"එදා දුව වැඩට යනවා කියලා ගෙදරින් ගියත් වැඩට ගිහින් තිබුණේ නෑ. අපි ඒක දැනගත්තේ පස්සේ දවසේ.."
දියණිය දින දහයක් තිස්සේ ආගිය අතක් නැතිවීම ගැන පැමිණිලි කරන්නට ඇය කුඩාඔය පොලිසියට ගියේ ඉන් අනතුරුවයි.
"මහත්තයෝ මගේ දරුවා දැන් දවස් දහයක ඉඳලා ආගිය අතක් නෑ. කතා කරන්නෙත් නෑ. ෆෝන් එකට මැසේජ් එවනවා හොඳින් ඉන්නවා කරදරයක් නෑ කියලා. හැබැයි සල්ලි ඉල්ලනවා.."
සඳුගේ මව කුඩා ඔය පොලිස් ස්ථානාධිපති එස්. ඒ. ප්‍රසාද් හමුවේ සියල්ල කීවේ හඬා වැළපෙමින්.
"ඊයේ ගෙදර එනවා කියලා ආවා ගෙවල් පාර දිගෙත් ආවා. කවුද බයික් එකක පස්සෙන් එනවා කිව්වා. ඊට පස්සේ ෆෝන් එක වැඩ නෑ. මහත්තයෝ මගේ දරුවා හොයලා දෙන්න.."
සඳුගේ පියා එසේ පැවසුවේ කඳුළු පිරි දෙනෙතින්...
ස්ථානාධිපතිවරයා පැමිණිලි අංශයේ සුනිල් මහතා තමා හමුවට කැඳව්වා.
"මේ තාත්තගෙයි අම්මගෙයි දුව දැන් සති දෙකක් විතර ඉඳන් ගෙදර ඇවිත් නෑ. වැඩ කරන තැනත් නෑ. කතා කරන්නෙත් නැතිලු. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.."
කුඩාඔය පොලිස් ස්ථානාධිපතිවරයා උප පරීක්ෂක සුනිල්ට පැවසුවේ සඳුගේ ප්‍රේම සම්බන්ධය ගැනද සොයා බලන ලෙසයි.
උප පොලිස් පරීක්ෂකවරයා මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන වලට දක්ෂතා දැක්වූ අයෙක්. ඔහු දිනකට දෙකකට පසු මේ විමර්ශනවල ප්‍රගතිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා.
"සර් මම මේ ගැන හොයලා බැලුවා. මේ අය එයාලගේ දුවට සල්ලි දාලා තියෙනවා එයාගේ එකවුන්ට් එකට. එයා ඒකෙන් සල්ලි අරගෙනත් තියනවා. හොයන්න ඕනේ සල්ලි ගන්න මේ ළමයම ආවද නැත්තම් වෙනත් කවුරු හරි ආවාද කියලා. ඒ වගේම සර් මේ ළමයා යාළුවෙලා හිටපු කොල්ලාවත් හොයන්න ඕනේ.."
ඒ අනුව පරීක්ෂණ ආරම්භ වුණා. පසුව අතුරුදන් වූ සඳුනිගේ පෙම්වතා බව කියන තරුණයා ද පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තා.
තරුණයාගේ ප්‍රකාශයත් සමඟ මෙම අතුරුදහන් වීම පිටුපස තවත් අයෙකු සිටින බව තහවුරු වුණා. පොලිසිය පළමුව සැක කළේ කිසිවෙකු සඳුනි කිසියම් තැනක රඳවා තබාගෙන ඇගෙන් කප්පම් ගැනීමට තැත් කරන බවයි.
ඒ අනුව මෙම මුදල් තැන්පත් කිරීමෙන් පසු එම මුදල් ලබා ගැනීමට එන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.
සල්ලි දැමූ බැංකුවට ගිය උප පොලිස් පරීක්ෂක සුනිල් ඇතුළු නිලධාරින් එම බැංකුවේ කළමණාකරු හමුවී සිය අවශ්‍යතාවය පැවසුවේ කිසියම් තොරතුරක් ලබා ගැනීමේ අරමුණිනුයි.
"මෙහෙන් සල්ලි දැම්මට සල්ලි අරගෙන තියෙන්නේ වැල්ලවාය පෞද්ගලික බැංකුවකින්. එහෙන් තමයි විස්තර හොයාගන්න වෙන්නේ.."
ඒ අනුව පොලිස් කණ්ඩායම වැල්ලවාය පිහිටි අදාළ බැංකුවේ සිසීටීවි දර්ශණ පරීක්ෂාව සඳහා ද අවසරයක් ලබා ගත්තා.
මුදල් ලබා ගැනීමට පැමිණෙන්නේ පිරිමි පුද්ගලයෙකු බවත් සඳුගේ පෙනුමට සමාන කාන්තාවක් ඊට ඈතින් සිටින බවත් ඇය නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බවත් පොලිස් පිරිසට වැටහුණු බැවින් මුදල් ලබා ගැනීමට පැමිණී පුද්ගලයා හඳුනා ගැනීමට වෙනත් උපක්‍රමයක් භාවිතා කරන්නට නිලධාරින්ට සිදුවුණා.
"සර් මේ වැඩේට අතුරුදහන් වුණු සඳුනි යාළුවෙලා ඉන්න කොල්ලව යොදා ගමු. එයා හරහා මේකේ පොටක් හදාගන්න පුළුවන් වෙයි.."
"හොඳයි අපි ඒ ළමයා ගෙන්වලා කරන්න ඕනේ වැඩේ කියමු.."
ස්ථානාධිපති ප්‍රසාද් මහතා උප පරීක්ෂක සුනිල්ට එසේ පැවසුවේ මේ පිටුපස ඇති රහස කෙසේ හෝ සොයා ගැනීමේ අරමුණ ඇතිවයි.
එලෙස පොලිසියට පැමිණි පෙම්වතා කීවේ මෙවන් කතාවක්...
"එයා මට අන්තිමට හම්බුණේ අප්‍රේල් මාසේ 30 වැනිදා. අපි එදා ටවුමේ ගිහින් පැය දෙක තුනක් ඇවිදලා ආවේ. මම දම්පාට සෙරප්පු දෙකකුත් සඳුනිට අරගෙන දුන්නා. එයාට ගෙදරටම බස්සලයි මම ගෙදර ගියේ.."
"ඊට පස්සේ මම දවසයි දෙකයි කතා කළේ. හතර වෙනිදා එයා කතා කළේ නෑ. පස්වෙනිදා ඉඳලා එයා ගැන තොරතුරක් ලැබුණේ නෑ.."
"මම සඳුනිලාගේ ගෙදර ආවා එයා කෝ ඇහුවම වැඩට ගියා කියලා කිව්වා. වැඩ කරන තැනට ගිහින් ඇහුවාම ආවේ නෑ කියලා ඒ අය කිව්වා..."
"එදාම මට එයා එස්.එම්.එස්. එකක් යැව්වා මම ඇල්ල පැත්තේ තැනක වැඩට ගියා ණය වෙලා ඉන්නේ සල්ලි ටිකක් ඕනේ දැන්ම එන්න වෙන් නෑ කියලා. මම සඳුනිට සල්ලි දැම්මා. පස්සේ තමයි දැනගත්තේ ගෙදරටත් මැසේජ් එවලා 17000ක් ඉල්ලගෙන තියෙනවා කියලා..."
"එහෙම දවස් හත අටක් ගත වුණා. ඒත් එයා කතා කළේ නෑ. මැසේජ් විතරයි ආවේ. මෙයාමද මට මැසේජ් කරන්නේ කියලා දැනගන්න අපි දෙන්නා විතරක් දැනන් හිටපු දේවල් මැසේජ් කරලා යැව්වා. ආපු උත්තර බැලුවම මේ මැසේජ් එවන්නේ සඳු නෙවෙයි කියලා මට තේරුණා..."
"මොකද මම එක මැසේජ් එකක් ගැහුවා අම්මලා කැමතියිනේ ඔයා ගෙදර එන්න, ඔහේ රස්සාවල් කරන්න ඕනේ නෑනේ කියලා. ආයේ ගැහුවා තැන් තැන්වල ඉන්නේ ඇයි අපේ අයියලා ගෙදර තට්ටු දෙකේ ගෙයක්නේ. ඒකේ උඩ තට්ටුවේ ඉමු කියලා. මේ ආදරෙට අපේ ගෙදරින් කැමති වෙලා තිබුණේ නෑ.."
"එයා ඒක හොඳටම දන්නවා. අපිට තට්ටු ගෙවල් නෑ. ඒකත් එයා හොඳටම දන්නවා. ඒ ගැන දන්නේ නැති කෙනෙක් තමයි මට මැසේජ් ගහන්නේ කියලා තේරුණා.."
"ඒක නිසා මගේ සැකය තරමක් වැඩිවෙලයි තිබුණේ. 15 වැනිදා මෙයා ගෙදර එනවා කියලා, ඒ වුණාට ඇවිත් නෑ.."
"පස්සේ මට කුඩාඔය පොලිසියෙන් එන්න කිව්වා. මම ගියා. එතකොට තමයි දැනගත්තේ සඳු අතුරුදහන් කියලා.."
"පොලිසියේ ලොකු මහත්තයාට මම මේ හැමදෙයක් ගැනම කිව්වා. දිගටම මේ විදිහට කරගෙන යන්න කියලා ලොකු මහත්තයා මට කිව්වා. ඊට පස්සේ මම එයාව හැමතැනම හෙව්වා. පු‍ළුවන් හැම තැනකම බැලුවා. බණ්ඩාරවෙල ඇල්ල පැත්තේ ගියා. වැස්සේ තෙමි තෙමී ගියේ. තැන් තැන්වල සඳුගේ තොරතුරු හෙව්වා. නමුත් ලැබුණේ නෑ, ඔය අතරේ සඳුගේ අක්කා දරුවා අරගෙන ගෙදරට එනවා කියලා මට ආරංචියක් ආවා. එදා මම සඳුනිලාගේ ගෙදර ගියා. අම්මට කෝල් එකක් ආවා. එයාට පාරට එන්න කිව්වා. මම ඊට කලින් ගියා මෙයා ද කියලා බලන්න.."
"බැංකුවේ සිසීටීවි එකේ දැකපු කොල්ලා වගේ කෙනෙක් අක්කා එක්ක ඉන්නවා මම දැක්කා. මම පාරේ නතර වෙලා 'නංගි ගැන ආරංචියක් නෑ ඔයා දන්නේ නැද්ද' කියලා ඇහුවා. එයා කිව්වා 'නැහැ' කියලා. අනේ තොරතුරක් ලැබුණොත් කියන්න කියලා මගේ දුරකථන අංකය සඳුගේ අක්කට දුන්නා.."
"මම එයාගේ අංකයත් ඉල්ලගත්තා. එදායින් පස්සේ මට මැසේජ් ආවේ නැහැ.."
"26 වැනිදා මට මැසේජ් එකක් ආවා අක්කගේ උපන්දිනේ මට මොනවත් අරන් දෙන්න බැරිවුණා. මට සල්ලි නෑ. ඔයා පුළුවන් නම් අක්කට සල්ලි ටිකක් දෙන්න කියලා. හැබැයි ඒ පණිවුඩය ආවේ අක්කා මට දුන්න අංකයෙන්. ඒත් මම ඒ බවක් ඇඟෙව්වේ නෑ. මම මැසේජ් කළා ලොකු ගාණක් නෑ රුපියල් දහ දාහක් විතර දාන්නම් අක්කට කියන්න මට කතා කරන්න කියලා.."
"විනාඩියක් ගියේ නෑ සඳුගේ අක්කා මට කතා කළා, 'නංගි පණිවුඩක් කිව්වා, කියලා. මම කිව්වා, අක්කේ මට ලොකු ගානක් දෙන්න නෑ රුපියල් දහ පහළොස් දාහක් විතර දෙන්නම්. ඒත් කොහොමද දෙන්නේ කියලා. එතකොට එයා කිව්වා බැංකුවට දාන්න කියලා. මම කිව්වා ඔයාට තෑග්ගත් දෙන්නත් ඕනේ ඒක අරගෙන තියෙන්නේ, වැල්ලවායට එන්න පුළුවන් ද කියලා..?"
"මට නම් එන්න වෙන් නෑ අපේ මහත්තයාව නම් එවන්නම් කියලා එයා කිව්වා.. මම හා කිව්වා.."
ඉන් අනතුරුව සඳුගේ පෙම්වතාට අවශ්‍ය උපදෙස් ලබාදීමට කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් මහතා හා උපපොලිස් පරීක්ෂක සුනිල් ඇතුළු කණ්ඩායම කටයුතු කළේ මේ කතාවේ අබිරහස විසඳා ගැනීමේ අරමුණ ඇතිවයි.
"28 වැනිදා උදේ මම පොලිසිය ගියා.."
"පොලිසියේදී මට අවශ්‍ය උපදෙස් ලැබුණා. පොලිසියේ මහත්තයෙක් මාත් එක්ක බයික් එකේ ආවා. පිටිපස්සේ තව කණ්ඩායමක් ආවා. සඳුගේ අක්කාගේ මහත්තයාට සල්ලි දෙන වෙලාවේ පොලිසිය එතැනට කඩා වැදිලා එයාව අල්ලගත්තා. පස්සේ මේ මනුස්සයා නතර වෙලා හිටපු බෝඩිමට ගියා. එතැනදී එයාගේ ඇඳුම් හම්බුණා. මම සඳුනිට අරන් දුන්න සෙරප්පු දෙක, බැංකු පොතත්, ඒටීඑම් කාඩ් එක, පාස්පෝට් එකක් එහි තිබුණා. මම ඒ වෙනකම්ම හිතුවේ නෑ සඳුව මරලා දාලා කියලා. කොහේ හරි හංඟගෙන ඇති කියලා මම හිතුවේ.."
අනතුරුව මේ අභිරහස විසඳු හැටි කුඩාඔය පොලිසියේ උපපරීක්ෂක සුනිල් මහතා අනාවරණය කළා.
"අපි සඳුනිගේ අක්කගේ ස්වාමියා බව කියන 18 හැවිරිදි තරුණයා වැල්ලවාය නගරයේදී අත්අඩංගුවට ගත්තා.. ඇල්ල පාරේ තියෙන ගෙස්ට්හවුස් එකක තමයි මිනිහා නතර වෙලා ඉඳලා තියෙන්නේ. අපි එතැනට යනකොට සඳුගේ අක්කා එතනින් පැනලා ගිහින්. අපි මේ සැකකරු ලවා එයාට කතා කළා.."
"ඇයවත් පසුව අත්අඩංගුවට අරගෙන මේ දෙන්නා නැවතිලා හිටපු කාමරය පරීක්ෂා කරද්දි සඳුනිට එයාගේ පියා දුන්න බෑග් එක, පාස්පෝට්, මුදල් පසුම්බිය, දුරකථන, මුද්ද මාලය කරාබු දෙක බැංකු රිසිට් සේරම හම්බුණා.."
"පස්සේ අපි එයාලව පොලිසිය අරගෙන ආවා. එතනදී කරපු දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එයාලා සඳුනිට පොල්ලකින් ගහලා මරා දැමූ බවට පාපොච්චාරණය කළා. මේ ඝාතනය මැයි මාසේ පස්වෙනිදා සිදුකළ බවත් හෙළි වුණා..."
"අපි පස්සේ සිද්ධිය වූ ස්ථානයට ගියා. ඒ ස්ථානය තියෙන්නේ ප්‍රධාන මාර්ගයට මීටර 1700ක් විතර දුරින්. ඒක තරමක කැලෑබද ප්‍රදේශයක්. එතැන තිබිලා සඳුනිගේ බවට සැකකරන හිස් කබල අස්ථි කොටස් ඇඳුම් කැබලි හා සහතික කිහිපයක් හොයා ගත්තා. සොකෝ නිලධාරිනුත් එතැනට කැඳව්වා. මහේස්ත්‍රාත් පරීක්ෂණයත් පැවැත්වුවා.."
"සැකකාර සඳුනිගේ අක්කගේ වයස 28 යි.. එයාගේ සැමියා කියන අයට අවුරුදු 18යි. මේ නිසා සඳුනි මේ දෙන්නට කැමති නෑ. 'මට උඹට අක්කා කියන්නයි අරූට මල්ලි කියන්නයි බෑ. ඒක නිසා උඹලා මෙහෙන් පලයල්ලා.' සඳුනි අක්කටයි එයාගේ පෙම්වතාටයි එහෙම කියලා තියනවා. ඒකේ කේන්තිය මේ දෙන්නගේ හිතේ කාලයක් තිස්සෙම තිබිලා තියෙනවා.."
"නංගි ගෙදරින් අයින් වුණා නම් ඒ දෙන්නට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ ඝාතනය සැලසුම් කරලා තියෙන්නේ. සඳුනි එදා උදේ වැඩට යන්න ආවා. ඒ මැයි මාසේ පස්වෙනිදා. එදා මේ අක්කගේ සැමියා සඳුනිව කැලෑවට ඇදගෙන ගිහින් එතැන සුදානම් කරලා තිබුණ රෙදි කෑල්ලකින් සඳුනිගේ කකුල් දෙක ගැටගහලා ඔලුවට පොල්ලකින් ගහලා තියෙනවා.."
"සඳුනි බිම වැටුණට පස්සේ අක්කත් එයාට ගහලා තියෙනවා.. පස්සේ සඳුනිගේ කරේ තිබ්බ රත්තරන් බඩුත් ගලවගෙන බෑග් එකේ තිබ්බ රුපියල් 750ක මුදලකුත් අරගෙන තියෙනවා..."
"බෑග් එකේ තිබ්බ සහතික වලින් උප්පැන්න විතරක් මෙයාලා අරගෙන තියනවා.."
"පස්සේ මේ දෙන්නා සඳුනිගේ සිරුර එතැනම දාලා වැල්ලවායට ගිහින්. හවස් වෙනකන් ඉඳලා තමයි ඇල්ල පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිට්ටුව තියෙන හෝටලයට යන්නේ. එතැනදී හෝටලේ අයිතිකාරයාට කියලා තියෙන්නේ අපි දෙන්නාගේ කසාදෙට ගෙදරින් කැමති නෑ, මහත්තයාට 18 යි මට 28යි, අපි කුලියට බෝඩිමක් හොයාගන්න ඉන්නේ. එතකන් දවස් දෙකක් ඉන්න පුළුවන්ද කියලා. හෝටල් හිමියා ඒකට කැමති වෙනවා.."
"මේ දෙන්නා ගාස්තු ගෙවලා ඉන්නවා. පහුවදා එළියට ගිහින් ආයේත් එනවා. අපිට ඉන්න තැනක් හොයාගන්න බැරිවුණා. මාසයක් විතර ඉන්න කීයක් ගන්නවද අහලා.."
"මුලින්ම රුපියල් 15000ක් කිව්වත් රුපියල් 12000ක් දෙන්නම් කිව්වම ඒකට හෝටලේ අයිතිකාරයා කැමතිවෙලා 13 කාමරේ දෙනවා.. 28 වැනිදා අපි මේ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තා නම් මේ අය පහුවදාම කොළඹට යන්න සුදානම් වෙලා ඉඳලයි තියෙන්නේ.."
"එහෙම වුණා නම් සඳුනිගේ ඝාතනය තවත් කාලයකට අබිරහසක් වෙන්න තිබුණා.."
සඳුනිගේ ඝාතනයට අත්අඩංගුවට ගත් ඇගේ සැකකාර අක්කා සතුව තිබූ ගමන් මල්ලෙන් ඇය විසින් මවට ලියූ ලිපියකින් තවත් ඝාතනයක සුලමුල සොයාගන්නට පොලිසියට හැකි වුණා. ඒ ඇය මීට වසරකට පෙර වැලිමඩ ප්‍රදේශයේ කුකුල් ගොවිපළක වැඩ කරමින් සිටින අතරතුර ප්‍රසූත කළ තම දරුවා මරා වළ දැමූ බවයි. ඒ සිද්ධියට ද මොවුන් දෙදෙනාම සම්බන්ධ වී තිබෙනවා.
ජී. අයි. ආර්. ගරුසිංහ