Monday, August 5

වසර 80කට පෙර දිවි නසාගත් කාවේරිගේ ගයාන්ගේ රූමත් දියණියගේ ඇඟට ආවේශවෙලා ඉල්ලූ දේ

මම අසරණ වුණා. අනාථ වුණා. බංගලාවෙ ඒ කාමරයේ මම එල්ලිලා මැරුණා
මගේ දුක්බර කතාව කියා ගන්නයි මට ඕනෑ වුණේ. දැන් මගේ හිත නිදහස්

පන්නිපිටියේ පදිංචි ගයාන් වතු අධිකාරීවරයෙකි. බිරිය ප්‍රියානි ගෘහණියකි. බිරිය පන්නිපිටිය නි‍වසේ ජීවත්වන අතර ගයාන් නුවරඑළියේ වතු බංගලාවේ ජීවත්වෙයි. ඇමෙරිකාවේ ඉගෙනුම ලබමින් සිටි 28 හැවිරිදි රූමත් දියණිය භාෂිණී
ආපසු ලංකාවට ආවාය. භාෂිණී ලංකාවට පැමිණ වසරක පමණ කාලයක සිට අසනීප වූවාය. ආහාර නොගැනීම, බලාගත් අත බලා සිටීම, නෑමට ඇඟ සේදීමට අකැමැත්ත භාෂිණිගේ රෝග ලක්ෂණ විය.

ගයාන් දියණිය නුවරඑළියේ වතු බංගලාවට කැඳවාගෙන ගියේය. සතියක් පමණ හොඳින් සිටියත් යළිත් පෙර සේම අසාමාන්‍ය තත්ත්වයට පත් වූවාය. කාමරයක අඳුරු මුල්ලකට වී කාලය ගෙවන්නට වූවාය.

මනෝ වෛද්‍යවරයෙකු වෙත භාෂිණී ඉදිරිපත් කළ විට වෛද්‍යවරයා කීවේ ඇමෙරිකාවේ නාගරිකව ජීවත්වූ ඇය වතු බංගලාවට සීමා වූ නිසා එසේ සිදුවී ඇති බැවින් නැවත පන්නිපිටියේ පදිංචි කරවන ලෙසය. ඇය වෙනත් කොළඹ නෑ ගෙදරක නතර කරවීය. මෙහිදී ඇය උඩතට්ටුවෙන් පහළට වැටුණු අතර එහිදී අතක් කැඩිණි. ආහාර නොගැනීම නිසා ඇගේ දෑස් යට කළු වී ශරීරය කෘශ වන්නට විය. පියා නැවතත් ඇය නුවරඑළියේ වත්තට කැඳවාගෙන ගියේය.

ගයාන්ගේ මිතුරෙකුගේ උපදෙසක් අනුව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආවාය. අධ්‍යාත්මීය උපදේශකවරයාගේ ප්‍රථම රෝග පරීක්ෂාවේදී භාෂිණී භූතාත්මයක් දිෂ්ටි ගැන්වී හූ කියන්නට වූවාය. ඇයට භූත දෝෂයක් ඇති බවට නිගමනය කළ ගවේෂකවරයා ඔවුන් දින 21ක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

ඒ අනුව බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින රෝග පරීක්ෂාවේදී ඇය දිෂ්ටි ගැන්වූ විට දෙමළෙන් කතා කරන්නට වූවාය. දෙමළ ඉගෙනුමක් හෝ භාවිතයක් නැති ඇය දෙමළෙන් කතා කිරීම පුදුමයට කරුණක් විය. එහෙත් ඇගේ පියා දෙමළ දන්නා බැවින් ඔහු ඇය කියන දේවල් පරිවර්තනය කළේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?”

“මම කාවේරි” භූතාත්මය කීවාය.

“කවුද කාවේරි කියන්නේ?”

“මම දෙමළ කෙල්ලක්. ලස්සන දෙමළ කෙල්ලක්. මේ ළමයා හිටපු බංගලාවේ කාමරයේ හිර වෙලා හිටියේ.”

“කවද ද මැරුණේ? මොනවා වෙලාද?”

“මම මේ කාමරයේ එල්ලිලා මැරුණා. මීට අවුරුදු අසූවකට කලින්.”

මෙවැනි සිද්ධියක් පිළිබඳ ඇත්තදැයි වත්තේ පැරැණියන්ගෙන් අසා දැනගෙන තවත් සතියකින් එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

ගයාන් වත්තේ ලැයින් ක‍ාමරවල පදිංචි වයස්ගත මිනිසුන් හමුවී ඒ ගැන විමසීය. බංගලාවේ කිසි කෙනෙකුට වැඩිකල් සිටිය නොහැකි බවටත්, රාත්‍රියට බංගලා‍වේ කෙල්ලක් ඇවිදින බවටත් කට කතා ඇතැයි ඔවුහු පැවසූහ. තරුණ කෙල්ලන් රාත්‍රියට බංගලාව ළඟින් යන විට දෙමළ කෙල්ලක් පස්සෙන් ඇවිත් පහර දෙන බවත් පැවසූහ. ඒ බව ඒ වනතුරු ගයාන් දැන සිටියේ නැත.

නියම පරිදි ඔවුහු ප්‍රතිකාර සඳහා නැවත පැමිණියහ. සිද්ධියේ සත්‍යයක් පවතින බව ගයාන් ගවේෂකවරයා සමඟ කීවේය. ගවේෂකවරයා එදිනද භාෂිණී දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ කතා කළේය.

“ඔබ කලින් දවසෙ ආපු එක්කෙනාමද?”

“ඔව්. මම කාවේරි”

“කාවේරිගේ කතාව කියන්න. ඔබට මොකද වුණේ?”

“මහත්තයා අපි හිටපු වත්තෙ ලොකු මහත්තයා සුද්දෙක්. තරුණයි. නම පීටර්. මම ලස්සන නිසා බංගලාවෙ වැඩට ගත්තා. ඒ සුදු මහත්තයා මා එක්ක යාළු වුණා. මට එයා නිසා දරුවෙක් ලැබෙන්න ආවා. මේ සිද්ධිය වතු කොම්පැනියට ආරංචි වෙලා පීටර්ව රටෙනුත් පිට කළා. මම අසරණ වුණා. අනාථ වුණා. බංගලාවෙ ඒ කාමරයේ මම එල්ලිලා මැරුණා. මළාට කාමරයෙන් එළියට යන්න බැරුව හිරවෙලා හිටියා. මගේ හිතේ වේදනාව කියා ගන්න කෙනෙක් මුණ ගැහුණෙ නෑ. ආවේශ වෙන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණෙ නෑ,

එදා හිටපු මගේ වයසෙම කෙනෙක් මේ භාෂිණී. මෙයත් මම වගේම ඇමෙරිකාවේ සුද්දෙක් එක්ක යාළුවෙලා ඉඳලා. තාත්තා ගිහින් ලංකාවට අරන් ආවා. මෙයත් ඒ ගැන දුක්වෙවී අඬ අඬා හිටි‍යා. දුකෙන් ඉන්න කොට මට මෙයාගේ ශරීරයට රිංගා ගන්න පුළුවන් වුණා.”

“ඉතින් ඇයි මෙයාව ලෙඩ කරන්නේ?”

“නැහැ. මම ලෙඩ කරන්නේ නෑ. මගේ දුක්බර කතාව කියා ගන්නයි මට ඕනෑ වුණේ. දැන් මගේ හිත නිදහස්. මේ බංගලාවෙ හිර වෙලා ඉන්න මට බැහැ. අනේ මහත්තයා මාව නිදහස් කරන්න.” කාවේරිගේ භූතාත්මය ඉල්ලුවාය.

“හොඳයි. ඔබට විශාල අසාධාරණයක් වෙලා. මටත් කනගාටුයි. අවුරුදු අසූවක් තිස්සේ දරාගෙන හිටපු දුක දැන් කියා ගත්තානෙ. දැන් ඔබට අපෙන් කෙරෙන්න යම් දෙයක් තියෙනවද?”

“මාව මේ හිරවෙලා ඉන්න තැනින් නිදහස් කරන්න.”

“ඔබට වෙන මොනවද වුවමනා.”

“මේ අයට කියන්න වත්තේ අපේ කෝවිලට මා නමින් පූජාවක් තියන්න කියලා.”

ක‍ාවේරි නමින් වත්තේ කෝවිලට කැවිලි පලතුරු පූජාවක් තබා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ‍ය.

ඒ පූජාව තබා නැවත පැමිණෙන විට භාෂිණී සාමාන්‍ය අතට හැරී සිටියාය.

තමන් ජීවත් වන වතු බංගලාවේදී වතු අධිකාරීවරයෙකු අතින් අහිංසක තරුණියකට සිදු වූ අසාධාරණය පිළිබඳ කනගාටු වන බවපැවසූ ගයාන් ඇගේ ආත්මයට සහනයක් ලබා දීම සඳහා තවත් යමක් අවශ්‍යදැයි ද ඇසීය. ඒ සමඟම භාෂිණීට ආවිෂ්ට වූ භූතාත්මය කතා කළාය.



“අපේ කෝවිලේ වේල් පෙරහරට වේල් කරත්තයක් නැහැ. මගේ නමින් වේල් කරත්තයක් හදා භාර දෙන්න. මේ වේල් කරත්තය කාවේරි වෙනුවෙන්ය කියලා කියන්න. වේල් උත්සවයට ලොකු මහත්තයයි, නෝනයි, දුවයි තුන් දෙනාම එන්න. එතකොට මට සතුටුයි” භූතාත්මය කීවාය.

වේල් උත්සවය දවසට මල් වට්ටියක් කෝවිලේ තබා එදිනම රැගෙන එන ලෙස ඔවුන්ට ගවේෂකවරයා උපදෙස් දුන්නේය.



ඒ අනුව ඔවුන් මල්වට්ටියක් කෝවිලේ තබා ආපසු රැගෙන ආහ. ගවේෂකවරයා ඒ මල්වට්ටියට කාවේරිගේ භූතාත්මය සම්බන්ධ කොට නැවත එදින ම මල්වට්ටිය කෝවිලේ තබන්නයි උපදෙස් දුන්නේය. වතු අධිකාරීවරයා එදිනම වේල් කරත්තයද කෝවිලට භාර දුන්නේය.



මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ