Wednesday, May 20

Abhisheka Wimalaweera - එයාගේ ඇඳුමට කිව්ව දේවල් මට ඇහුණා. ඒ කියපු දේවල්වලට මම ෂොක් වුණා...- අභිෂේකා විමලවීර

Abhisheka Wimalaweera

එයාගේ ඇඳුමට කිව්ව දේවල් මට ඇහුණා. ඒ කියපු දේවල්වලට මම ෂොක් වුණා...- අභිෂේකා විමලවීර
" මගේ තාත්තා නැති වුණාට පස්සේ මගේ අම්මා තනි වුණා.."
"ගැහුවත්, බැන්නත් ආදරයක් තිබ්බොත් ඒක කවුරුවත් දාලා යන්නේ නැහැනේ...'
දිගු නිහැඩියාවකට පස්සේ අලුත් නිර්මාණයක් කළා. ‘නිස්සාර’ ගීතය කරලා අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි ‘නේත්‍රා’ කියන මගේ අලුත්ම ගීතය කළේ.

මවුවරුන්ගේ දිනය වෙනුවෙන් මේ ගීතය රසිකයෝ අතරට ගේන්න හිටපු ඔබ ඇයි එය කල් දැම්මේ?

මවුවරුන්ගේ දිනය යෙදිලා තිබ්බේ පසුගිය 10 වැනිදානේ. ඉතිං ඒ වෙනකොට ගීතයේ වැඩ සම්පූර්ණයෙන් ඉවර කරලා තිබ්බේ. 10 වැනිදා හවස හරි නේත්‍රා ගීතය රසිකයන් අතරට ගේන්න හිටියේ. නමුත් මම හිතුවා මම වැරැදි ට්‍රැක් එකේ හිටියේ කියලා. මොකද 10 වැනිදා උදේ ඉඳන්ම සමාජ මාධ්‍යවල බලන්න තිබ්බේ අම්මා ගැන. දැන් වෙසක් කූඩු හදන්නේ වෙසක් කාලෙට. නත්තල් සැරසිලි කරන්නේ නත්තල් කාලෙට. පොත් වැඩිපුර කරන්නේ, විකුණන්නේ සාහිත්‍ය මාසෙට. හැබැයි මව කියන්නේ එක කාලෙකට සීමා විය යුතු කෙනෙක් හෝ මව ගැන කතා කළ යුත්තේ එක කාලෙකට හෝ නෙමෙයි. ඉතිං මම හිතුවා මගේ ගීතය කාලෙකට සීමා නොවන සර්ව කාලීන ගීතයක් කරන්න. ඒකයි මම මවුවරුන්ගේ දිනයට පස්සේ මේ ගීතය එළිදැක්වූවේ.

ඒ කියන්නේ මවුවරුන්ගේ දිනය ඉලක්ක කරගෙන විකුණන ගීතයක් බවට මෙය පත් කරන්න ඔබට වුවමනා වුණේ නෑ කියන එකද?

ඔව්. නේත්‍රා ගීතය රිලීස් කරන්න හිටියේ කොරෝනා එන්න කලින්. අවාසනාවට කොරෝනා ආවා. ගීතය මාර්තු මාසේ රිලීස් කරන්න බැරි වුණ නිසා තමයි අම්මාවරුන්ගේ දවසට ගීතය රිලීස් කරමු කියලා සැලසුම් කළේ. නමුත් මම හිතුවා එය එදාට රිලීස් නොකර දවස් කිහිපයකට පස්සේ රිලීස් කරන්න.

‘නේත්‍රා’ කියන්නේ මවුවරු ගැන කියැවෙන ගීතයක්. එවැනි ගීත නිර්මාණයක් කරන්න හිතුවේ?

රූපවාහිනි වැඩසටහනට ආපු කෙනෙක් කවියක පද කිහිපයක් කිව්වා. ගල් වළක වැඩ කරන අම්මා කෙනෙක් ගැන ඔහු කිව්ව කවියක පද පේළි මගේ හිතට තදින් වැදුණා. ඒ කවි පෙළ ලියලා තිබ්බේ ජනිත් විතාරණගේ. ඔහු ඉන්නේ ඉතාලියේ. ඉතිං මට ඕන වුණා මේ කවි පෙළින් ගීතයක් කරන්න. ඒ වගේම මට ඕන වුණා එක අම්මා කෙනෙක් ගැන කතා නොකර එක් එක් සමාජ ස්තරවල ඉන්න අම්මලා ගැන කියවෙන ගීතයක් ලෙස මේ ගීතය කරන්න. මොකද අම්මා කියන්නේ විශ්වීය සංකල්පයක්. ඉතිං ජනිත්ගේ කවිය අරන් එය අපි දෙන්නම වෙනස් කළා ඊට අවශ්‍ය පරිදි. එයින් තමයි මේ ගීතය කළේ.

රචකයා කවි පෙළ වෙනස් කරන්න කැමැති වුණාද?

සාමාන්‍යයෙන් කෙනෙක් එවැනි දෙයකට කැමැති වෙන්නේ නැහැනේ. නමුත් ජනිත් එයට කැමැති වුණා. ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා.

සංගීත නිර්මාණයත් ඊටම හොඳින් පෑහිලා තියෙනවා නේද?

දිලුම් තේජන හෙට්ටිආරච්චි තමයි මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ. ඔහු මේ ගීිතය හරියටම තේරුම් අරගෙන සංගීතය නිර්මාණය කරලා තියෙනවා කියලා හිතනවා.

‘නේත්‍රා’ ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙන්නේ දමිතා අබේරත්න සහ මිෂෙල් දිල්හාරා. ඔවුන්ව සම්බන්ධ කරගන්න විශේෂ හේතුවක් තිබුණද?

නේත්‍රා ගීතයේ අම්මාවරු වර්ග තුනක් ගැන කතා කරනවා. මේ වීඩියෝවට මවුවරුන්ගේ චරිත තුනටත් දුවලා තුන්දෙනාගේ චරිතවලටත් ශිල්පිනියන් හයදෙනෙක් සම්බන්ධ කරගන්න සැලසුම් කරගෙන තිබුණේ. නමුත් කොරෝනා තත්ත්වය එක්ක පුද්ගල දුරස්ථභාවය තියාගෙන අපිට වීඩියෝව සීමිත පිරිසකගෙන් කරන්න සිද්ධ වුණා. රූප රචනයේ චරිත ස්වභාවයන්වලට දමිතා අක්කා සහ මිෂෙල්ව පහසුවෙන් හැඩගස්වන්න පුළුවන් වුණා. දමිතා අක්කා සහ මිෂෙල් මූල්‍යමය වටිනාකම ගැන නෙමෙයි මේ වැඩේදී හිතුවේ. පැය විසිහතරක් එක දිගට ඔවුන් මහන්සි වෙලා මේ රූපරචනය වෙනුවෙන් වැඩ කළා. තිබ්බ බාධකත් එක්ක ආරක්ෂක විධිවිධාන එක්ක පරිස්සම් වෙලා තමයි ඔවුන් මේ වෙනුවෙන් කැප වුණේ. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවකත් දැක්වූ සහයෝගයට.

අභිෂේකා කලා ක්ෂේත්‍රයේ වැඩවලින් ඉවත් වෙලා දිගු කාලයක් නිහඬතාව රැක්කේ ඇයි?

ඒක ගොඩක් අය ඇහුව මට උත්තරයක් නොතිබුණු ප්‍රශ්නයක්. මට පහුගිය කාලේ පොඩි කලකිරීමක් වගේ දෙයකුත් තිබුණා. කලා ක්ෂේත්‍රයේ වගේම පෞද්ගලික සමහරු ජීවිතයෙන් අපි මොනවා කළත් බනිනවා. මොකටද මේ දේවල් කරන්නේ කියලා මට හිතුණා. දවසක් මගේ දුව රූපවාහිනි වැඩසටහනක් බල බල ඉද්දි මගෙන් ඇහුවා ඇයි අම්මා මේවට යන්නේ නැත්තේ කියලා. අම්මත් ඒවට යන්න කියලා දුව රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා එතැනින් ගියා. දැන් මගේ තාත්තත් මං ළඟ නැහැ. මාව අගයන්න ඔහු මං ළඟ නැහැ. මම සල්ලි හොයන්නවත් නෙමෙයි මේ වැඩ කරන්නේ. හැබැයි මගේ දුව මං දෙයක් කරන කල් බලාගෙන ඉන්නවා.

මම මගේ තාත්තා ගැන ආඩම්බරයෙන් කතා කළා වගේ මගේ දුව මං ගැන කතා කරන්න ආසයි. ඉතිං මම හිතුවා දුව වෙනුවෙන් දෙයක් කරන්න. අවුරුද්දකට සැරයක් හරි මේ වගේ වැඩක් කළොත් හොඳයි කියලා මම හිතුවේ ඒ නිසා.

අම්මා අලුත් වැඩක් කළ එක ගැන දුවටත් සතුටු ඇති?

ඔව්. මම ගීතය කරලා ගීතයේ නේත්‍රා කියන ටයිට්ල් එක ලියන විදිහ ගැන කල්පනා කරද්දී දුව මගෙන් ඇහුවා අම්මා මොනවද කල්පනා කරන්නේ කියලා. ඊට පස්සේ මම දුවට කල්පනා කළ දේ කිව්වම එයා හාෆ් ෂීට් එකක් ගෙනත් නේත්‍රා කියලා ලිව්වා. එයාගේ කැඩිච්ච අත් අකුරුවලින් ලිව්ව නේත්‍රා කියන අකුරු ටික තමයි ගීතයේ පෝස්ටර් එකට මම ගත්තේ.

ඔබේ ගීතවලට රසිකයෝ ආදරෙයි. ඇයි ඔබ ප්‍රසංග වේදිකාවේ දකින්න නැත්තේ?

මට සින්දුවක් කරන්න ගත්තම ඒ සින්දුව මගේ කරගන්න බැරි නම් මට ඒ ගීතය කියලා වැඩක් නැහැ. මම ගයන ගීතය මම විඳින්න ඕන. ප්‍රසංග වේදිකාවක් උඩ ගීතයක් කියද්දී මට ඒක විඳින්න බෑ. ගෘහස්ථ තැනක, වැඩි සද්ද බද්ද නැති තැනක ගීතයක් ගයද්දී මට විඳිමින් ගයන්න පුළුවන්. මම එක දැවැන්ත එළිමහන් ප්‍රසංගයකට ගියා එක සැරයක්. ඒ ප්‍රසංගය කරපු නාළිකාවේ තේමා ගීතය ගායනා කළේ මම. ඉතිං ඒ එළිමහන් ප්‍රසංගයට මට යන්න වුණා. ඒ ප්‍රසංගයට පුදුම සෙනඟක් ඇවිත් හිටියේ. ඒ වටපිටාව මට දරාගන්න බැරි වුණා. මට කලින් වේදිකාවට නැඟපු ප්‍රවීණ ගායිකාවකට එතැන හිටපු බීපු මිනිස්සු කිව්ව නරක කතා, පරුෂ වචන, එයාගේ ඇඳුමට කිව්ව දේවල් මට ඇහුණා. ඒ කියපු දේවල්වලට මම ෂොක් වුණා.

එදා වේදිකාවෙන් බැස්සට පස්සේ මගේ තාත්තා මට කිව්වා ආයේ ඒවට යන්න එපා කියලා. මම සාමාන්‍යයෙන් තාත්තා කියන දේ අහනවා. මම ප්‍රසංග වේදිකාවේ සින්දු කියන අයට මොකුත් කියනවා නෙවෙයි. නමුත් මට ඒක ගැළපෙන්නේ නෑ.

හැකියාවක් නැති සමහරු ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න දඟලද්දී හැකියාවකුත් තියෙද්දී හැදෑරීමකුත් කරලා තියෙද්දී ඔබ ඔබේ හැකියාවෙන් වැඩ ගන්නේ අඩුවෙන්. ඒක අපරාධයක් නේද?

හුඟක් අය ඕක කියනවා. “මේ ජීවිතේ හොඳම කාලෙනේ. ඒ නිසා වැඩ කරන්න” කියනවා. මට ඉක්මනින් වැඩක් කරන්න බෑ. වැඩක් කරන්න ගත්තම ඒක ඉවර කරන්න කාලයක් යනවා. එය මගේ දුර්වලකමක් වෙන්න ඇති. දැන් මම මගේ ඊළඟ ගීතයත් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් අඩුගානේ තව අවුරුද්දක්වත් යයි රසිකයන් අතරට ගෙනෙද්දී.

මාධ්‍යවලින් තාමත් ඔබට හොඳ සහායක් ලැබෙනවාද?

ඔව්. පොඩි කාලේ ඉඳන් මම මාධ්‍ය එක්ක වැඩ කළා. අදටත් මම හැම මාධ්‍ය නාළිකාවක් එක්කම සහයෝගයෙන් ඉන්නවා. ඉතින් ඔවුනුත් මට ආදරෙයි.

කලා ජීවිතය පැත්තෙන් මොනවාද ඔබ කළ අනෙක් අලුත් වැඩකටයුතු?

මම උත්තර භාරතීය රාගධාරි සංගීතය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළා. මම විෂයානුබද්ධ පොතක් වගේම නවකතාවක් ලිව්වා. ඒවා ප්‍රින්ට් කරන්න ඉන්නේ.

ගායන ජීවිතයටත් වැඩි ඉඩක් වෙන් නොකරන ඔබ වෘත්තීයමය තත්ත්වය ගොඩනඟාගෙන තිබෙන්නේ වෙනත් අංශයකින්?

මම රූපලාවණ්‍ය සහ ආයුර්වේද චර්ම රෝග සම්බන්ධව හැදෑරීම් කළා. ඉතින් මම වෘත්තීයමය තත්ත්වය ගොඩනඟාගෙන තියෙන්නේ රූපලාවණ්‍ය කටයුතුවලින්. මම නිෂ්පාදන පිටරට යැවීමේ කටයුතුත් කරනවා. ඒවයින් තමයි මම සල්ලි හොයන්නේ.

දුව ඔබ වගේ ගායනයට ළැදිද?

ඔව්. දුවටත් ගීත ගයන්න පුළුවන්. හැබැයි ඇය ටිකක් ලැජ්ජාශීලීයි.

ඔබේ ජීවිතයෙන් අෑත් වෙන සමහර දේවල් ගැන ඔබට මොකද හිතෙන්නේ?

බලහත්කාරයෙන් අපි ආදරය කරන අය ළඟ තියාගන්න බෑ. පුද්ගලයෙක් වුණත් තමන් ගාව ඉන්න කැමැති නැත්නම් වෙන ආදරයක් තියාගෙන ඉන්නවා නම් බලෙන් තියාගෙන වැඩක් නෑ. වැඩවලදී වුණත් එහෙමයි. මම කැමැති සරල දෙයකට නම් අනෙක් මිනිස්සු සතුටු කරන්න දේවල් කරලා වැඩක් නැහැ. ලක්ෂ ගාණක් ලැබෙනවා කිව්වත් මම සතුටු වෙන්නේ නැති දෙයක් මම කරන්නේ නැහැ. ගැහුවත්, බැන්නත් ආදරයක් තිබ්බොත් ඒක කවුරුවත් දාලා යන්නේ නැහැනේ.