Tuesday, May 19

යන යන තැන ජංගම වැසිකිළියකුත් අරන් යනවලූ... තමන්ගෙන් පිටවන මළපහ වලිනුත් රහස් පිටවෙන බව ඔහු විශ්වාස කළා..



"යන යන තැන ජංගම වැසිකිළියකුත් අරන් යනවලූ..."
"තමන්ගෙන් පිටවන මළපහ වලිනුත් රහස් පිටවෙන බව ඔහු විශ්වාස කළා.."
පුද්ගලික ගමන් බිමන් යන්නෙත් යුද ටැංකි පිරිවරාගෙනයි...

ලෝකයේ බලසම්පන්නම රටවල් බොහෝමයක් අතුරින්, උතුරු කොරියාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ කුරිරු ඒකාධිපති පාලකයෙකු එරට ආධිපත්‍යය පැතිරවීම හේතුවෙනුයි.


පසුගිය දින කිහිපයේදීම මේ කෲර ඒකාධිපතිවරයා කෙරෙහි ලෝකයේම අවධානය යොමු වුණේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් "ඔහු හදිසියේ මියගියා" කියන පුවතක් පළ කිරීමත් සමඟයි.

එයින් වැඩිදුරටත් කියවුණේ මොළයේ සැත්කමකට භාජනය කළ "කිම් ජොන් අන්" නොසිතූ මොහොතක මරු වැළඳගත් බවයි.

නමුත් දින කිහිපයකට පසු එරට මාධ්‍ය විසින් උතුරු කොරියානු නායකයාගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් කර තිබූ අතර එහි සඳහන් වූයේ "ඒකාධිපතිවරයා තවමත් ජීවතුන් අතර සිටින" බවයි. ලෝකයේම අවධානය යොමු වූ මේ කතා ප්‍රවෘත්තිය සමඟ කිම් ජෝන් අන් කාගෙත් ප්‍රධාන කතා නායකතුමා බවට පත්වුණා. වෙසෙසින්ම මොහු කවුද යන්න බොහෝ දෙනෙක් සොයා බලන්නට පෙළඹුණා.

අද අපි කතා කරන්නේ මිසයිල වලින් වැඩ පෙන්වමින් ලෝකයම නතු කරගන්න තනන මේ කෲර ඒකාධිපතියාගේ ඔබ නොදන්නා කතාවක් ගැනයි...!

සාමාන්‍යයෙන් අපි අදටත් පිළිගන්නේ ලෝකයේම බලවත්ම රට ඇමරිකා එක්සත් ජනපදය බවයි. එය එසේ සඳහන් වුවත් සැබැවින්ම ඇමරිකානු ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු නොවේ.

ඔහුට ඒකාධිපතියෙකු වීමට ඇති ඉඩ කඩ එරට ව්‍යවස්ථාව මඟින් අහිමි කරනවා. සැබැවින්ම ඔහු රටේ නායකයා මිස රට "ඔහුට අයිති" වස්තුවක් බවට පත් වන්නේ නැහැ.

නමුත් උතුරු කොරියාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වනවා. එහි සියලුම ඉඩම් රජය සතුවන අතර ඒවා භූක්ති විඳිමට නායකයාට සම්පූර්ණ අයිතියම ලැබෙනවා. 2013 දී හෙළි වූ සමීක්ෂණ වාර්තාවක් අනුව උතුරු කොරියානු නායකයා ලෝකයේ බලවත්ම පුද්ගලයින් ලැයිස්තුවේ 46 වැනි තැනට හිමිකම් කියනවා. එමෙන්ම බලවත් කොරියානුවන්ගෙන් තුන්වැනි තැනට හිමිකම් කියන්නේද ඔහුයි.

හොඳයි... දැන් අපි මේ ඒකාධිපති නායකතුමාගේ ඔබ නොහිතන පැත්තක් ගැනයි කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් බිලියනිපතියන් වුණාම, මේ ලෝකේ නැති ආසාමන්‍ය දේ කරන්නට පෙළඹෙනවා.

පළවැනි දේ තමයි, උතුරු කොරියානු නායකයා තමන්ගේ පෞද්ගලික භාවිතය සඳහා යුදමය වාහන පවා භාවිතයට ගැනීම. සාමාන්‍යයෙන් රටක නායකයෙකුට වැඩි ආරක්ෂාවක් අවශ්‍යම වුණත්, මෙවැනි ලෙසින් ආරක්ෂාව සපයා ගැනීම ලෝකයේ බොහෝ දෙනෙකුගේ හාස්‍යයට ලක්ව තිබෙනවා.

වරෙක වියට්නාමයේ සංචාරයක නිරත වන කිම් ජොන් එම සංචාරයේදීත් තමන්ගේ යුද ටැංකි භාවිතා කරලා තියෙනවා. එමෙන්ම මේ ගමනේදී තමන්ගේ යුද ටැංකි මහජනයාගේ අවධානය ලක්වීම වළක්වා ගැනීමටත් ඔහු විසින් වියට්නාම හමුදාවට උපදෙස් දුන්නු බව සඳහන්.

කිම් ජොන්ට නිල වාහන තිහකටත් අධික සංඛ්‍යාවක් තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද? එපමණක් නොවේ ඔහුගේ රථය දෙපසින් ආරක්ෂකයින් පයින් දුවමින් ඔහුට ආරක්ෂාව සපයනු ලබනවා. මේ ආරක්ෂකයින්ට නිල වාහනය ගැන පමණක් නොවෙයි, අවට සිද්ධ වෙන දේ ගැනත් අවධානයෙන් සිටින්නට සිදුවීම අතිශය වැදගත් වනවා.

මේ විදිහට උතුරු කොරියානු ඒකාධිපතියා තම බලය ලෝකයට පෙන්වීමට හේතුවක් නම් කවුරුත් කියන්නේ දන් නැහැ.

නමුත්.. මේ වගේ හැසීරිම් වලින් පෙනෙන්නේ කිම් ජොන් තමන්ගේ තත්ත්වය සහ බලසම්පන්න බවත්, බිය නැති විත්තියත් අන් රටවලට පෙන්වීමට අසීරු උත්සහයක නියැලෙන බවයි.

සාමාන්‍යයෙන් උතුරු කොරියාවේ වැසියන් තට්ටු නිවාසවල පදිංචිව සිටිනවා වුණත්.... නායකතුමාට නම් රට පුරා විවිධ වාසස්ථාන තියෙන බව සඳහන්. තමා ඝාතනය කරන්නට සැලසුම් ඇතැයි කියන උමතු විශ්වාසයකින් සිටින ඒකාධිපතියා නිරන්තරයෙන් තම වාසස්ථාන මාරු කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

උතුරු කොරියාවේ මාධ්‍ය නිදහස අතිශය සීමිත වන අතර දේශීය මාධ්‍යවලට හිතූ ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් පළ කළ යුතු වන්නේ රජයෙන් අවසර ලැබෙන සීමිත ප්‍රවෘත්ති ප්‍රමාණයක් පමණයි !!

කිම් ජොන්ට 'සෝවියට් අයි එල් 62' වර්ගයේ පෞද්ගලික ගුවන් යානයකුත් හිමියි. එමෙන්ම මේ ගුවන් යානය යල්පැන ගිය එකක් වුණත් එහි ඇතුළත නිර්මාණය සඳහා ඩොලර් මිලියනකට වඩා වැයවෙලා කියලයි කියන්නේ.

එමෙන්ම දිගින් අඩි 95ක් දිග ඩොලර් මිලියන 7ක් පමණ වටිනා කියන යාත්‍රාවක්ද උතුරු කොරියානු නායකයා සතුයි. ජාත්‍යන්තරය විසින් කොපමණක් සම්බාධක පනවා තිබුණා වුණත්, උතුරු කොරියානු ඒකාධිපතියා තමන්ගේ හිතු මතේට වැඩ කරන හිතුවක්කාර හාදයෙක්.....

ඒ වගේම තමයි... කිම් ජොන් කියන්නේ හොඳ බාස්කට් බෝල් රසිකයෙක්. වරක් ඩෙනිස් රොක්මන් කියන බාස්කට් බෝල් ශූරයෙකුට ඔහු තමන්ගේ රටට ආරාධනා කරන්නෙත් ඒ හේතුව නිසයි. මේ සංචාරය තුළ ඩෙනිස් අත්දැකපු දේ ඉතා විශ්මයජනයකයි. පසුකාලීනව ඔහු විසින් මේ දේවල් මාධ්‍යයට හෙළි කරලා තිබුණා.

ඔහු කියන විදිහට තමන්ගේ කිම් ජොන් සමඟ අඩි දෙසීයක් පමණ දිග නෞකාවක සංචාරයක් නියැලිලා තියනවා. ඒ වගේම මේ නෞකාව සුඛෝපබෝගී ඉස්තරම්ම වර්ගයේ එකක් බවයි ඔහු කියන්නේ.

කිම් ජොන් සතුව පෞද්ගලික දූපතකුත් තියෙන බව ඔබ දන්නවද? බාස්කට් බෝල ශූරයා කියන විදිහට මේ රහස් දූපතේ සුපිරි සැපපහසුකම් තියනවලු. විනෝදාත්මක දේ වගේම ඉස්තරම්ම වර්ගයේ මිල අධික ඕනෑම වර්ගයේ මත්පැන් වර්ගයක් මේ තැනින් ගන්න පුළුවන්...

තමන්ගේ ආරක්ෂාව ගැන ඕනෑවටත් වඩා හිතන ඔහු විසින් සිදුකළ ඇතැම් දේ නම් ජුගුස්සාජනකයි. කොටින්ම... ඔහුගේ සිරුරෙන් බැහැර වන අපද්‍රව්‍ය (මළපහ) වලට පවා ආරක්ෂාවක් තිබිය යුතු යැයි ඔහු විශ්වාස කරනවා. රටින් පිටව යන සෑම අවස්ථාවකම "ජංගම වැසිකිළියක්" රැගෙන යන කිම් ජොන්ගේ මළද්‍රව්‍ය ඔහුගේ අනු දැනුමකින් තොරව වැසිකිළියෙන් සෝදා හැරීමත් තහනම්. තමන්ගේ ශරීරයෙන් පවා ලෝකයට රහස් තොරතුරු පිටවේ යැයි යන උමතු විශ්වාසයකින් ඔහු පසුවීම මීට හේතුවයි...

ඒ වගේම තමයි... කිම් ජොන් කියන්නේ ආහාරවලට පුදුමාකාර කෑදර හාදයෙක්. උතුරු කොරියාවට සාගතයක් ආවත්... ඒකාධිපතියාට බිය වෙන්න හේතුවක් නැහැ. මුහුදු ආහාරවර්ග වලට, මත්පැන් වලට ඔහු රාජ්‍ය මුදල් හිතු හැටියට වියදම් කරනවලු. 2014 දී ස්විස් වලින් ගෙන්වලු චීස් ආහාරයට ගත්ත ඒකාධිපතියා කාලයක් යනකන් මහජන හමුවීම් වලිනුත් වැළකී සිටි බව සඳහන් වෙනවා. 2012 දී ඔහු විසින් මිලියන 30කට අධික මුදලක් වෙන් කරලා හොඳම වර්ගයේ මත්පැන් බෝතල් ගෙන්වලා තියනවා...

වරෙක ඔහුගේ මුළුතැන්ගෙයි සේවකයෙකු සඳහන් කර තිබුණේ එක් රාත්‍රී ආහාර වේලකදී "කිම් ජොන්", වයින් බෝතල් 10ක් පානය කළ බවයි..

ඔහුට දුම්රියක් ද සතුවන අතර එම දුම්රියේ ගමන් ගනිද්දි ආරක්ෂාව තකා තවත් දුම්රිය දෙකක් යොදවා තිබෙනවා. කිම් ජොන් සිය සීයාට හා පියාට සමානව යන ඒකාධිපති වියරුවෙන් යුතු පාලකයෙකු වූ අතර ඔහු ගත කළේ සුපිරිම පන්නයේ ජීවිතයක් බව සියලු දෙනාම දන්නා කාරණයක්.

උතුරු කොරියාව තුළ අන්තර්ජාලය භාවිතා කළ හැකි වන්නේ සීමිත ප්‍රමාණයකට පමණක් වන අතර, මේ නිසාම රටේ ලෝකයේ තොරතුරු එරට වැසියන්ට දැන කියා ගන්නට ලැබෙන්නේ ඉතාමත් ස්වල්ප වශයෙන්...

මේ හැමදේකටම වඩා අතිශය භයානක දේ නම් කිම් ජොන්ට අයත් පිරානා මාළුවන් පිරි මින් මැදුර. ඈන් ෆෙෆිල් නම් මාධ්‍යවේදීයා වරෙක මේ ගැන ලෝකයට හෙළි කර තිබුණු අතර මේ භයානක මිනී කන මාළුවන් කිම් ජොන් විසින් නිරාහාරව ඇති දැඩි කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්... මේ උමතු සහ වියරු පාලකයා මේ වන විටත් ලෝකයෙන්ම වසංව පසු වනවා. අවසන් වරට ඔහුගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කරනු ලැබුවත් ඒවා ව්‍යාජ ඡායාරූප විය හැකි බවටයි "ඩේලිමේල්" වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ.

එමෙන්ම ඇමරිකානු ඔත්තු සේවා පවසන ආකාරයට, කිම් ගේ අභාවයක් ගැන ආරංචියක් පැතිරුණොත් උතුරු කොරියාව කැළඹීමකට පත්විය හැකියි. මේ හේතුව නිසාම ඒකාධිපතියාගේ මරණය එරට විසින් හිතාමතා සඟවන බවයි ඔවුන්ගේ අදහස...

By Lakshan
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)