COVID 19 News Sri Lanka
COVID-19 යැයි සැකපිට රෝහල්ගත කළ පුද්ගලයෙකු
හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්
යමු සර්.. සර්ව කොරෝනා වාට්ටුවට තමයි දාන්නේ, ෆෝන් එක ඔන් එකේම තියා ගන්න..
"හරි හරි කමක් නෑ කෝකටත් හොඳයි වාට්ටුවට යන්නකෝ.."
"මාළු කටු සියයක් උගුරේ ඇණුනු පසු දැණෙන වේදනාවටත් වඩා කටුක වේදනාවක්!!"
පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරියගේ ඇගෙන් ඇල්ලීමට සූදානම් වෙන්න එපා!!
උදෑසනම අසන්නට ලැබුණේකොරෝනා රෝගයේ වේදනාව පිලිබඳවය. කොරෝනා රෝගයේ වේදනාව ගැන කියවීමට පාදක වී තිබුණේ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික රෝගියෙකි.
ඔහු ඔහුගේ සටහනක කොරෝනා රෝගය ගැන විස්තර කොට තිබුණේ මාලූ කටු සියයක් පමණ උගුරේ ඇණුනු පසුව දැණෙන වේදනාවටත් වඩා කටුක වේදනාවක් කොරෝනා රෝගියාට විදින්නට සිදුවන බවයි.
ඉතා පුංචි සන්ධියේ සිට වන්නියේ වැව් වලින් අල්ලා ගත් උදවිය ලබා දුන් ලූලා, කොරළියා, කොකැස්සා, මගුරා,හුංගා, කාවයියා වැනි මාලූන්ගේ මැද කටුවම උගුරේ හිරවී වේදනා වින්දත් මාලූ කටු සියයක් ඇණුනු මතකයක් මේ ජීවිත කාලයටම මා හට හුරු නොමැත.
මේ නිසා කොරෝනා වේදනාව ගැන මමද අතිශයින්ම බියට පත් වුණෙමි. දින දෙකකට පමණ පසුව මගේ උගුර රිදෙන්නට විය. ඒ සමගම සාමාන්‍ය වශයෙන් උණ ගැනී හිසරදයෙන්ද පීඩා විදීමට සිදු වූයේය.
මා හිතවත් වෛද්‍යවරයා හමුවට ගියත් ඔහුට ලැබී තිබූ වෛද්‍ය උපදෙස් මත මගේ මුඛවාඩම ගලවා මගේ සෙංගෙඩි තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහුට ලබා දී තිබූ උපදෙස් මත හැකියාවක් නොතිබීම නිසා මාහට බෙහෙත් ලබා දුන්නේ සෙංගෙඩි සදහාමය.
දින තුනක බෙහෙත් වේල් හමාර වීමත් සමගම සෙංගෙඩි රෝගයේද යම් සුවයක් දැණුනි. නමුත් හතර වෙනි දිනයේදී මහ රෑ උණ වැඩි වී උගුරේ වේදනාවද වැඩි වු නිසාම මහ රෝහලට ගොස් නතර වීමට සිදු වුණි. රෝහල් වාට්ටුවේ ඇදකට වෙනදා විනාඩි දහයකින් පහළොවකින් යා හැකි වූවත් මෙවර එය එසේ නොවීය. ජීවිතයට විශාල අත්දැකීම් සමුදායක් එක් කර ගැනීමට මෙවර රෝහල් ගමන සමත් විය.
මාව රෝහල් ගත කිරීමට කටයුතු සූදානම් කළ වෛද්‍යවරිය මගෙන් නම ගම ඇතුලූ විස්තර සටහන් කළේ මාව බඹයක තරම් දුරක තබා ඇති පුටුවේ වාඩි කරවා ගැනීමෙන් පසුවය. කොරෝනා රෝගයේ බිය එතරම්යැයි මා දැන ගත්තේද ඒ මොහොතේය. සියලූ දේ සටහන් කර ගැනීමෙන් පසුව මා යවන ලද්දේ කාමරකයට.
එහි විදුලි පංකා විදුලි බුබුලූ රාශියක් මෙන්ම මේස හා පුටුද ඕනෑවටත් වඩා තිබුණි.මේසය මත දුරකතනයකි.රෝහල් සේවකයා ප්‍රකාශ කළේ ලැබෙන දුරකතන ඇමතුමට මා පිළිතුරු දිය යුතු බවකි.
විනාඩි කීපයකට පසුව දුරකතනය නාද විය. මම ඊට පිළිතුරු දුන්නේය. එහා කෙලවරේ සිට මා ඇමතුවේ ජෙයෂ්ඨ වෛද්‍යවරයෙකි. ඔහු නගන ලද ප්‍රශ්නාවලිය හරියට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට සමානය.
මා පසු ගිය මාස තුනක කාලයක් ඇතුලත ආගිය තැන් මෙන්ම ඇසුරු කරණ ලද පුද්ගලයින් පිළිබදවද කෑම බීම හා මා ගත් ඖෂධ පිළිබදවද බොහෝ ප්‍රශ්න නැගීය.දුරකතන සංවාදය විනාඩි තිස්පහක පමණ කාලයකි.ඊට විනාඩි කීපයකට පසුව රෝහල් සේවකයා මා අසලට පැමිණියේ මගේ රෝහල් ලිපි ගොණුවද අතැතිවය.
‘‘යමු සර්..සර්ව කොරෝනා වාට්ටුවට තමයි දාන්නේ‘‘ ඉතා හොදින් මා ඔහුව දන්නා නමුත් ඒ වදන් පෙල පැවසුවේ හඩ බැරෑරුම් කරමිනි.
මට පණිවුඩය කියමින්ම රෝහල් පොලීසියේ කාමරයට රිංගූ රෝහල් සේවකයා ඉන් එළියට එත්ම පොලිස් නිලධාරීන්ද ඔහු පසුපස පැමිණියේ මා මුණ ගැසීමටය.
‘‘ආ...මේ අපේ අයියනේ.. හරි හරි කමක් නෑ කෝකටත් හොදයි වාට්ටුවට යන්නකෝ.. අපි කතා කරන්නම්.. ෆෝන් එක ඔන් එකේම තියා ගන්න‘‘
මේ කාරණය මට නොවැටහුණත් මම රෝහලේ කොරෝනා වාට්ටුව දෙසට රෝහල් සේවකයාත් මගේ සහෝදරයින් දෙදෙනෙකුත් මාව රැගෙන ගියහ.
කොරෝනා වාට්ටුවෙන් එළියට ආ අමුතු ඇදුම් ඇදගත් සේවිකාවක් මා පමණක් ඇතුළට ගෙන අනෙක් අය පිටත් කොට යැවීය.
වීදුරු වලින් ආවරණය කළ විශේෂ කාමරයක් මගේ රෝගී වාට්ටුව විය. එතැන් සිට මගෙන් කෙරන ප්‍රශ්න කිරීම් හා මට කෙරෙන දැනුම් දීම් සියල්ල සිදු වූයේ එක්කෝ කුඩා ශබ්දවාහිනී යන්තයේ ආධාරයෙනි.එසේත් නොමැති නම් මගේ ජංගම දුරකතනය ඔස්සේය.
වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ උපදෙස් වලට අමතරව පොලීසිය මගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේද දුරකතනය ඔස්සේය.මේ සදහා හේතු කීපයක්ම තිබේ.ඉන් පලමු වැන්න කොරෝනා ආසාධිතයෙකු බවට සැකකරණ රෝගියෙකු අළුතින් ඇතුළත් වී සිටින බව ජාතික මට්ටමේ සංඛ්‍යා ලේඛන වලට ඇතුලත් කිරීමය.දෙවන කාරණය වන්නේ රෝගියා පැන ගියහොත් ඔහුව ඉතා පහසුවෙන් අල්ලා ගැනීමට ඔහු පිළිබදව දත්ත රැස් කිරීමය.
මද වේලාවකින් දුරකතනයට කතා කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඔහුද විමසන ලද්දේ මගේ මාස තුනක කාලයක අතීතය සම්බන්ධයෙන්ය. මේ සියල්ල මැද වෛද්‍යවරියගෙන් ශබ්දවාහීනී යන්ත්‍රය ඔස්සේ පණිවුඩයක් ලැබුණි.
‘‘දැන් වෛද්‍යවරියක් ඔබගෙන් පී.සී.ආර්. (PCR) පරීක්ෂණයක් සදහා රුධිරය සහ වෙනත් දේ ලබා ගැනීම සදහා පැමිණෙනවා. මේ ක්‍රියාව තරමක් වේදනාවක් ඇතිවන ක්‍රියාවක්. නමුත් අපි මෙය සිදු කරන්නේ ඔබගේ හොද ශරීර සෞඛ්‍ය වෙණුවෙන් නිසා ඔබ එය ඉවසා සිටින්න. මතක තබා ගන්න ඔබට වේදනාවක් දැණුනත් ඔබව පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරියගේ ඇගෙන් ඇල්ලීමට සූදානම් වෙන්න එපා‘‘
පණිවුඩය කණ වැකෙත්ම මතක් වූයේ මාලූ සීයකට වඩා කටු උගුරේ ඇණුන විට දැනෙන වේදනාව ගැන කී කතාවයි. පී.සී.ආර්. (PCR) පරීක්ෂණයට රෝගීන් යොමු කරණ අන්දම රූපවාහිනියෙන් දැක ඇති නිසා මම ඒ ගැන කලබල නොවුණි.
නමුත් එහි ඇති ඇත්ත තත්ත්වය එය නොවේ.නාසය හා උගුර දැඩි වේදනාවකට පත් වන ආකාරයක නුහුරු නුපුරුදු අත්දැකීමකට මුහුණ දීමට මෙහිදී සිදුවෙයි. මෙහිලා මම එය විස්තර නොකරන්නේ බොහෝ දෙනෙකු මින් බියට පත්විය හැකි නිසාය.කෙසේ වෙතත් මේ පරීක්ෂණයෙන් පසුව මා දියෙන් ගොඩට වීසි කල මාලූවෙකු දගලන්නා සේ දැගලූවා පමණක් මා හට මතකය.
මාධ්‍යකරුවකු වශයෙන් ඒ අත්දැකීමට මුහුණ දුන් මා මේ අවස්ථාවේදී මේ ලෝකයේ සියලූ දෙනාටම යෝජනා කරන්නේ කොරෝනා රෝගය සදහා කෙරෙන එම පරීක්ෂණයන් මීට වඩා අඩු වේදනාවක් ලැබෙන ආකාරයක් කෙරෙහි සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතුය යන කාරණයයි.
කොරෝනා රෝගින් සැගව සිටීමටත් පලා යාමටත් හේතුව මේ කාරණය මිස වෙනත් හේතුවක් නිසා බව ඉතාම පැහැදිලිය. පොලීසිය සියලූ තොරතුරු සටහන් කොට තබා ගන්නේද මේ නිසාම විය යුතුය.
කොරෝනා ආසාධිතයෙකු වශයෙන් සැක මත රෝහල් ගත වූවත් රෝහල් කාර්ය මණ්ඩලය මේ පැමිණ සිටින්නේ කොරෝනා රෝගියෙකුම යැයි යන උපකල්පනය මත කටයුතු කරණු ලබයි. එය එසේ වූවත් ඔවුන්ට අප කිසි විටකත් ඒ සම්බන්ධයෙන් දොස් නැගීමක් නොකල යුතුය. මන්ද ? ඒ තරමට මේ රෝගය භයානක නිසාමය.
මේ ආසාධිත බවට සැක කෙරන රෝගියාගේ අසලට පැමිණෙන සෑම අයෙකුම පැමිණෙන්නේ විශේෂ ඇදුමින් සැරසීමෙන් පමණි. ඒ රෝගියා පරීක්ෂා කිරීමෙන් පසුව හෝ ඔහුගේ රුධිර සාම්පලයක් ලබා ගෙන ආපසු යාමෙන් පසුව එම විශේෂිත ඇදුම යළි භාවිතයට නොගනියි. අගහරු ලෝකය තරණය කිරීමට යන අජටාකාශගාමීන් මෙන් සැරසෙන ඒ ඇදුමක් රුපියල් පන්දහසක් තරම් මිලක් වෙයි. එක් රෝගියෙකු වෙණුවෙන් එවැනි ඇදුම් කීපයක් විනාශ වෙයි.
රෝහල් ගත වන රෝගියාට වෛද්‍ය උපකරණ හැසිරවීම පිළිබදව යම් නිපුණතාවයක් වේනම් හෙදියකට භාවිත කල යුතු ඇදුම් ප්‍රමාණය අවම කරගත හැකි බව රෝහල් ඇදේ සැකසහිත කොරෝනා රෝගියෙකු වශයෙන් වැතිර සිටියදී මට පසක් විය.
අධික රුධිර පීඩනය මණිනු ලබන යන්ත්‍රය තමන්ම ක්‍රියාත්මක කොට එහි අගය හෙදියකට පෙණෙන්නට සැලැස්වීමට හැකිනම් හෙදියට රෝගියා අසලට ඒ සදහා පැමිණීමට අවශ්‍ය නොවේ.ඊ.සී.ජී. යන්ත්‍රයද දියවැඩියාව මණිනු ලබන කුඩා යන්තරයද තනිවම ක්‍රියාත්මක කීරීමට රෝගියාට හැකිනම් රජයට විශාල මුදලක් ඉතිරි කොට දීමටද හෙදියගේ කාර්ය අඩු කිරීම තුළින් පැළදිය යුතු විශේෂ ඇදුම් සංඛ්‍යාව අඩු කිරීමටද හැකියාව තිබේ.
මීළගට මා රෝහලේදී දුටු අනෙක් කාරණය වූයේ දිනකට කොරෝනා රෝගය සම්බන්ධයෙන් කරණු ලබන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම හා ඒ පරීක්ෂණ වලින් ලැබෙන වෛද්‍ය වාර්තාව ඉතා කඩිනමින් ලබා ගැනීමට හැකි ක්‍රමයක් සකස් විය යුතුය යන කාරණයයි.
වෛද්‍ය වාර්තා ලැබෙන තුරු රෝගියාට කාලය ගත කිරීමට සිදු වන්නේ පොලීසියට හසු වූ මහා අපරාධකරුවකු ලෙසිනි.
රෝගියාගේ ඥාතීන්ට හිතවතුන්ට හා ගම්වාසීන්ට නිරෝධායනය හා ලොක් ඩවුන් වීම යන ක්‍රියාවන් මනසේ හොල්මන් කරයි.ඔවුන්ද පසුවන්නේ දැඩි බියකිනි.
මිනිස් සමාජය විසින් කොරෝනා රෝගීන් පමණක් නොව ඒ රෝගය සදහා සැකපිට රෝහල් ගත කරණ රෝගීන් දෙස බලන්නේද ඒඞ්ස් රෝගීන් දෙස බලන ආකල්පයෙනි. මීට දිය හැකි හොදම උදාහරණය වන්නේ පසුගිය දිනවල කොරෝනා රෝගීන් නොවූවත් නාවික හමුදා සාමාජිකයින් සමාජය හමුවේ මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වයයි. මේ තත්ත්වය තුරන් කිරීමටද යම් සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් මේ රට තුල ක්‍රියාත්මක විය යුතුය.
ඊට හේතුව වන්නේ එවැනි රෝගයක් නොදැනීම හෝ අත්වැරැද්දක් මත තවත් කෙනෙකුට බෝවනවා විනා ඔවුන් විසින් සිය කැමැත්තෙන්ම රෝගය වැළද නොගැනීමයි.
කෙසේ වෙතත් කොරෝනා රෝගයෙන් මිදීම සදහා ඇති හොදම විකල්පය නිවසින් බැහැරට නොගොස් නිවසේම සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරු ලබා දෙන උපදේශයම පමණක් අකුරට පිළිපැදීම බව දින පහක් තිස්සේ කොරෝනා ආසාධිත සැකසහිත රෝගියෙකු ලෙස මා ලද අත්දැකීම් වලින් සනාථ විය.
දිනසේන රතුගමගේ
උපුටා ගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය