Tuesday, May 19

කොවිඩ් මර්දනය සදහා සාර්ථක එන්නතක් සොයාගනී


කොවිඩ් මර්දනය සදහා සාර්ථක එන්නතක් සොයාගත් බව අමෙරිකානු ආයතනයක් පවසයි.


මෙවන් පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් කොවිඩ් මර්දනය සදහා ප්‍රති මැලේරියා ඖෂධ ලබාගන්නා බවයි.

මේ අතර අදවනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 48 ලක්ෂයක් හමුව ඇති අතර සිදුව ඇති මරණ ගණන 318,303 ක්.

තමන් අත්හදාබලමින් සිටින කොවිඩ් මර්දන එන්නතකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමෙරිකානු ආයතනයක් අනාවරණය කර තිබෙනවා.

මොඩෙර්නා නම් මෙම ආයතනය පවසන්නේ, මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ මගින් පුහුණුකරවන බවත්, ඉන් කොරෝනා වෛරස කාණ්ඩයට එරෙහි සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

එන්නත අත්හදාබැලීම සදහා යොදාගත් පළමු පුද්ගලයින් අටදෙනාගේ සිරුරේ ක්‍රියාත්මක වෙමින් පැවැති ප්‍රතිදේහ, අදාළ එන්නත ලබාදීමෙන් අනතුරුව උදාසීන වන බවද එම ආයතනය සදහන් කළේය.

නව එන්නත මහා පරිමාණයෙන් අත්හදාබැලීමට නියමිතව පවතින්නේ ලබන ජූලි මාසයේ සිටයි.

ලොව වටා ප්‍රධාන ආයතන සහ පර්යේෂකයන් කණ්ඩායම් 80ක් පමණ කොවිඩ් මර්දන එන්නතක් සොයාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටින පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් කොවිඩ් වෛරසයෙන් වැළකීමට ක්ලෝරොක්වීනීන් ඖෂධය ලබාගන්නා බවයි.

අදාළ ඖෂධය සාමාන්‍යයෙන් භාවිතකරන්නේ, මැලේරියා රෝගය මැඬලීම සදහායි.

තමන් සතියක පමණ කාලයක් තිස්සේ අදාළ ඖෂධය ලබාගන්නා බවත්, එය සාර්ථක ඖෂධයක් බවත්, ජනාධිපතිවරයා පවසනවා.

ක්ලෝරොක්වීනින් ඖෂධය කොවිඩ් මර්දනය සදහා යොදාගත හැකි බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද අවස්ථා කිහිපයකදී සඳහන් කළේය.

කෙසේ නමුත් බොහෝ වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ ඉන් අපේක්ෂිත සාධනීය ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.

මේ වනවිට අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් පහළොස් ලක්ෂයකට වැඩි පිරිසක් හමුව ඇති අතර, වාර්තාවන මරණ ගණන 90, 000 ඉක්මවයි.

– adaderana